ඔහුගේ මරණයෙන් පස්සේ විමර්ශන නිලධාරීන්ට ඔහුගේ iPhone එක පරික්ෂා කරන්න අවශ්‍ය වුණත්, ඒක Face ID දාලා ලොක් කරලා තිබුණු නිසා අන්ලොක් කරගන්න බැරි ලොකු අර්බුදයක් නිර්මාණය වුණා. අන්තිමේදී ෆෝන් එක හදපු Apple සමාගමටම යවලා හරි මේක ඇරලා දෙන්න කියලා පොලිසියට උසාවි නියෝග පවා ගන්න සිද්ධ වුණා.
ඉතින් මේ සිද්ධියත් එක්ක ලංකාවේ ගොඩක් දෙනෙක්ට මතු වුණු ප්‍රශ්නයක් තමයි, "කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ, එයාගේ මළසිරුර ඉස්සරහට ෆෝන් එක ඇල්ලුවොත් Face ID එකෙන් අන්ලොක් කරන්න බැරිද?" කියන එක.
ඇපල් සමාගම පවසන විදිහට iPhone X ඉඳන් අලුත්ම iPhone 17 වෙනකම් එන Face ID තාක්ෂණය කියන්නේ ලෝකයේ තියෙන දියුණුම ආරක්ෂිත ක්‍රමයක්.
අපේ මූණ ඉස්සරහට ෆෝන් එක අල්ලද්දී, අපේ ඇසට නොපෙනෙන තිත් දහස් ගණනක් මූණට විදලා, මූණේ 3D සිතියමක් වගේම ඉන්ෆ්‍රාරෙඩ් (Infrared) රූපයක් මේකෙන් ගන්නවා. ඒ නිසා නිකන්ම ෆොටෝ එකක් පෙන්නලා මේක අන්ලොක් කරන්න බැහැ.
වඩාත්ම වැදගත් දේ තමයි, මේ තාක්ෂණයට පුළුවන් කෙනෙක් "ජීවතුන් අතර ඉන්නවාද" නැද්ද කියලා හඳුනාගන්න.
Face ID වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම මූණ අයිති කෙනාගේ ඇස් ඇරිලා, ඒ ඇස් දෙක ෆෝන් එක දෙසට කෙලින්ම යොමුවෙලා (Attention) තියෙන්න ඕනේ. කෙනෙක් නිදාගෙන ඉන්නකොට හෝ මියගිය පසුව ඒ "අවධානය" සහ "ජීවී බව" නැති නිසා, මළසිරුරක මූණට කෙතරම් ෆෝන් එක ඇල්ලුවත් iPhone එකක් කිසිසේත්ම අන්ලොක් වෙන්නේ නැහැ!
සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසන විදිහට ඇපල් සමාගමට වුණත් කෙලින්ම මේ සිස්ටම් එක බිඳලා ෆෝන් එකක් ඇරලා දෙන්න අමාරුයි. හැබැයි ලෝකයේ විශේෂ "ඩිජිටල් ෆොරෙන්සික්" (Digital Forensics) උපකරණ තියෙනවා.
මීට කලින් ඇමරිකාවේ FBI ආයතනයත් ත්‍රස්තවාදියෙකුගේ iPhone එකක් ඇරගන්න බැරුව දඟලද්දී, ඊශ්‍රායල් සයිබර් සමාගමක් වන Cellebrite හරහා විශේෂ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා දත්ත ලබාගන්න සමත් වුණා. හැබැයි ඒක ෆෝන් එකේ මොඩල් එක සහ නිෂ්පාදිත වර්ෂය මත තීරණය වන ඉතාම සංකීර්ණ, මිල අධික වැඩක්.
ඔබට ඕනෙම නම් ඔබ නැති දවසක ඔබේ iPhone එකේ තියෙන පින්තූර, මැසේජ් වගේ දත්ත (iCloud Passwords හැර) ඔබේ ලඟම හිතවතෙකුට ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඒකට ඇපල් ෆෝන් වල Legacy Contact කියලා ක්‍රමයක් තියෙනවා. ඔබ මියගිය පසු, ඒ නම් කරන ලද පුද්ගලයාට මරණ සහතිකය ඉදිරිපත් කරලා ඇපල් සමාගම හරහා ඔබේ දත්ත ලබාගැනීමේ හැකියාව තියෙනවා.
කොහොම වුණත්, ලෙහෙසියෙන් හොරකම් කරන්න හෝ වෙනත් කෙනෙකුට ඇරගන්න බැරි වෙන්න ඇපල් හදපු Face ID ආරක්ෂාව නම් මරණයෙන් පසුවත් සුපිරියටම වැඩ කරනවා කියන එක දැන් පැහැදිලියි!