සොබාදහමේ තවත් එක පුදුමාකාර නිමැවුමක් වන මේ සත්වයා හඳුන්වන්නේ "අයාම් සෙමානි" (Ayam Cemani) කියලයි.
ඉන්දුනීසියාවෙන් හමුවන මේ කුකුළු විශේෂය මේ වනවිට ලෝකයේ ඉන්න දුර්ලභම වගේම අමුතුම සත්ව විශේෂයක් විදිහට මුළු ලෝකයේම අවධානය දිනාගෙන අවසන්.
මේ කුකුළාගේ තියෙන විශේෂත්වය තමයි මුළු ශරීරයම කළු වීම. සාමාන්‍යයෙන් කළු කුකුළන්ගේ පිහාටු කළු වුණත්, Ayam Cemani ගේ කතාව ඊට වඩා ගොඩක් වෙනස්.
මොවුන්ගේ පිහාටු, හොට, ඇස්, කකුල්, නියපොතු විතරක් නෙවෙයි... සම, දිව, මස්, ඇටකටු සහ ශරීරය ඇතුළේ තියෙන අභ්‍යන්තර අවයව පවා තද කළු පාටයි!
විද්‍යාත්මකව බැලුවොත් මේක මායාවක් නෙවෙයි, "Fibromelanosis" කියන දුර්ලභ ජානමය තත්ත්වයක් නිසා සිදුවන ශරීරයේ මෙලනින් වර්ණකය අධික ලෙස තැන්පත් වීමක්.
මේ සතුන්ගේ තියෙන අතිශය දුර්ලභ බව සහ තේජවන්ත පෙනුම නිසාම මොවුන්ව හඳුන්වන්නේ කුකුළු ලෝකයේ "ලැම්බෝගිනි" (Lamborghini) කියලයි. සුපිරි පැලැන්තියේ ධනවතුන් තමන්ගේ තත්ත්වය පෙන්වන්න ඇති කරන සුරතලෙක් බවට මේ වනවිට Ayam Cemani පත්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මුදලින් බැලුවොත් එක කුකුළෙක් රුපියල් ලක්ෂ ගණනක් දක්වා ඉහළ මිලකට අලෙවි වන බවයි වාර්තා වෙන්නේ!
ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංස්කෘතියට අනුව Ayam Cemani කියන්නේ සාමාන්‍ය සතෙක් නෙවෙයි. ඔවුන් විශ්වාස කරන්නේ මේ කුකුළන්ට අද්භූත බලයක් තියෙනවා කියලයි. නිවසකට වාසනාව, ධනය ළඟා කර දීමටත්, නපුරු ආත්ම සහ ඇස්වහ කටවහ දෝෂ මඟහරවා ගැනීමටත් මේ කළු කුකුළන්ට පුළුවන් කියන මතය අදටත් ඉන්දුනීසියාවේ තදින්ම පවතිනවා.