වෙසක් කිව්වම අපිට මතක් වෙන ප්‍රධානම දෙයක් තමයි දන්සල. හැබැයි මෙන්න මේ පාර දන්සල් දාන්න ලෑස්ති වෙන හැමෝම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන විශේෂ තීරණයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අරන් තියෙනවා.
ඒ තමයි මින්පස්සේ දන්සල් පවත්වද්දී සෙනඟ කැඳවන්න හෝ දන්සල ප්‍රදර්ශනය කරන්න බෞද්ධ කොඩි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබීමයි!බෞද්ධ කොඩිය වෙනුවට "කහ පැහැති කොඩි පමණයි"
මේ ගැන නිල වශයෙන් අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් අසේල මධුසංඛ මහතා ප්‍රකාශ කළේ, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය වෙනුවට කහ පැහැති කොඩි පමණක් භාවිත කළ යුතු බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. මේ සඳහා වන විශේෂ චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව මේ වනවිටත් නිකුත් කර අවසන්.
මේ අලුත් නීතිය ඇතුළත් චක්‍රලේඛය මේ වෙද්දී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම සියලුම සාසනාරක්ෂක මණ්ඩලවල ස්වාමීන් වහන්සේලා වෙතද යොමු කර තිබෙනවා. ඊට අමතරව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාවද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ.
බොහෝ වෙලාවට දන්සල් පවත්වන ස්ථානවලදී, පාරවල් දෙපස බෞද්ධ කොඩි නිසි ගෞරවයක් නොමැතිව එල්ලීම, දන්සල අවසානයේ ඒවා බිම වැටී අපවිත්‍ර වීම සහ සමහර තැන්වල නොගැලපෙන සංගීත ඛණ්ඩ වාදනය කරමින් බෞද්ධ කොඩි වැනීම වැනි සිදුවීම් නිසා බෞද්ධ කොඩියට සිදුවන අවමානය වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
එමෙන්ම දන්සල් පමණක් නොව, ආගමික වතාවත්වලට නොගැලපෙන විවිධ පූජාවන් සහ නොගැලපෙන කරුණු නියාමනය කිරීමටද මෙම නව චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙනවා.
ඉතින් මේ පාර ඔයාලත් යාළුවෝ එකතු වෙලා දන්සලක් දෙන්න ලෑස්ති වෙනවා නම්, දැන්මම බෞද්ධ කොඩි වෙනුවට ලස්සන කහ පාට කොඩි ටිකක් ලෑස්ති කරගන්න අමතක කරන්න එපා!