312 Views
මේ තත්ත්වය කොයි තරම් දරුණුද කියනවා නම්, මේ වෙනකොටත් දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50ක් විතර රෝහල්ගතව දැඩි සත්කාර සහ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
මේ මෙනින්ජයිටීස් උවදුර මුලින්ම දරුණුවටම වාර්තා වුණේ දෙණියාය ප්‍රදේශයේ පාසල් සිසුන් කිහිපදෙනෙක් අතරින්. තද උණ, හිසරදය සහ වමනය වැනි ලක්ෂණ පෙන්වමින් දරුවන් පිරිසක් රෝගී වීමත් එක්ක සෞඛ්‍ය අංශ වහාම ක්‍රියාත්මක වුණා. රෝගය පැතිරීම පාලනය කරන්න දෙණියායේ පාසල් කිහිපයක් දින කිහිපයකට වසා දමන්න පවා බලධාරීන්ට සිද්ධ වුණා.
හැබැයි දැන් වැඩේ තවත් සංකීර්ණ වෙලා. වසංගත රෝග විද්‍යා අංශය අනාවරණ කරන්නේ මේ රෝගය දෙණියායෙන් නතර නොවී දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ වැනි ප්‍රදේශවල රෝහල්වලින්ද දැන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන්ගෙන ඇති බවයි! පාසල් සහ විවිධ ජනාකීර්ණ ස්ථාන හරහා මේ රෝගය සමාජය පුරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුවෙලා තියෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පවසන විදිහට, මේ රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වෙන්නේ ආහාර සහ ජලය මාර්ගයෙන්. ඊට අමතරව රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුමකින් පිටවන බිඳිති මඟින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහාත් මේක බෝ වෙන්න පුළුවන්. වෛරසය ඇඟට ඇතුළු වෙලා දින 3ත් 7ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු වෙනවා.
ප්‍රධාන රෝග ලක්ෂණ 3
තද උණ
දරුණු හිසරදය
වමනය
සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත රෝගය සුව අතට පත් වුණත්, ඉදිරියට එන වැසි සමයත් එක්ක මේක ලැව්ගින්නක් වගේ පැතිරෙන්න ඉඩ තියෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු රටටම විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා.
සෞඛ්‍ය අංශවලින් මව්පියන්ට සහ ජනතාවට දෙන දැඩි නියෝග!
ඔබේ දරුවාට උණ, හිසරදය වගේ ලක්ෂණ තියෙනවා නම් කිසිම හේතුවක් නිසාවත් පාසල් හෝ උපකාරක පන්ති යවන්න එපා!
මේ දවස්වල අමුවෙන් වතුර බොන එක සෙල්ලමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම උණුකර නිවාගත් ජලය විතරක්ම පාවිච්චි කරන්න.
ඔබට හෝ පවුලේ කෙනෙකුට රෝග ලක්ෂණ ඇත්නම්, ජනතාව වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවලට (Markets, Bus, Trains) යෑමෙන් වැළකී සිටින්න.
ලෙඩේ තවමත් පාලනය වෙමින් පැවතුණත්, වැස්සත් එක්ක ඕනෑම වෙලාවක මේක දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ තියෙනවා නම් හොර වෙදකම් නොකර වහාම ළඟම තියෙන රෝහලකට ගිහින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.