හැබැයි ඉතින් මේ පින්වන්ත කාල සීමාව අස්සේ පව් පුරවාගන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා කියලා පොලිසියෙන් මතක් කරලා තියෙනවා. වෙසක් සිරි නරඹන්න යන හැමෝටම සාමකාමීව ඒ කටයුතු කරගෙන යන්න පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා.
තොරණ බලන්න, දන්සල් වැඳගන්න වගේම වෙසක් කූඩු බලන්න යනකොට සෙනඟ අස්සේ රිංගන්න වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ සෙනඟ අස්සේ "පික්පොකට්" ගහන්න සහ මාල කඩන්න සොරුන් සැරිසරන්න පුළුවන් කියලා පොලිසිය කියනවා. ඒ නිසා තමන් සතු රන් ආභරණ සහ වටිනා භාණ්ඩ ගැන වෙනදාටත් වඩා සලකිලිමත් වෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වෙසක් උත්සවයේ තියෙන පූජනීයත්වයට හානි වෙන විදිහට හැසිරෙන අයට නම් මෙදා පාර වැඩේ වැරදෙන්න ඉඩ තියෙනවා. පොලිසිය කියන විදිහට මෙන්න මේවා තහනම්...
ඔළුබක්කන් නැටීම සහ මුහුණු ආවරණ පැලඳගෙන විකාර රූපීව හැසිරීම.
අන් අයට බාධා වන විදිහට අධික ශබ්ද නිකුත් කරන නළා වාදනය කරමින් පොදු ස්ථානවල රවුම් ගැසීම.
දන්සල් සහ තොරණ අසල අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙසක් උත්සවයට නොගැළපෙන සින්දු දමාගෙන පිස්සු කෙළීම.
නීත්‍යනුකූල අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම.
වෙසක් කාලෙට පන්සල්, තොරණ, දන්සල් සහ බැතිගී සංදර්ශන ළඟ මාර විදිහට සෙනඟ වගේම වාහන පිරෙනවනේ. අන්න ඒ නිසා ඇතිවෙන රථවාහන තදබදය උපරිමයෙන් අඩු කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් දීලා තියෙනවා.