47 හැවිරිදි පියා සහ ඔහුගේ 14 හැවිරිදි ආදරණීය දියණිය යතුරුපැදියෙන් යමින් ඉන්න අතරතුර, මොනරාගල දෙස සිට අධික වේගයෙන් ආපු කැබ් රථයක් මේ යතුරුපැදියේ මුහුණට මුහුණලා දරුණු විදිහට ගැටිලා තියෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරියව සහ පියාව වහාම මොනරාගල මහ රෝහලට ඇතුළත් කලත්, දැරියගේ තත්ත්වය ඉතාමත් අසාධ්‍ය නිසා ඇයව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) වෙත මාරු කර යවා තිබෙනවා. එහිදී කල ශල්‍යකර්මයකින් දැරියගේ එක් පාදයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මුළු පවුලම කඳුළු සාගරයක ගිල්වමින්.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණු අමිහිරිම ඇත්ත තමයි, මේ අනතුර සිදු කල කැබ් රථය පදවලා තියෙන්නේ මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවෙක් වීම.
ඔහු සතුව බරවාහන පැදවීම සඳහා කිසිදු වලංගු රියදුරු බලපත්‍රයක් තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ සැහැල්ලු වාහන සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රිය පුහුණු වන්නන්ගේ බලපත්‍රයක් විතරයි. එම බලපත්‍රයෙන් කිසිසේත්ම බර වාහන ධාවනය කරන්න නීතිමය අවසරයක් නැති බවයි පොලීසිය පවසන්නේ.
මේ බාලවයස්කාර සිසුවා කැබ් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස සහ අතිශය අපරීක්ෂාකාරී අයුරින් ධාවනය කිරීම නිසයි මේ මහා විනාශය සිද්ධ වෙලා තියෙන්නේ.
අනතුරෙන් පස්සේ පොලීසිය විසින් සැකකාර සිසුවාව අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. හැබැයි ඔහු බාලවයස්කාරයෙකු වීම සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අහිංසක කෙල්ලෙක්ගේ පාදයක් අහිමි කරලා, ඇයව මරණ මුවවිටට ඇද දැමූ මේ අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිස් රථ වාහන අංශය දැන් වැඩිදුර විශේෂ විමර්ශන සිදුකරගෙන යනවා.