ඉබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් නුවරදී උගන්ඩා ජාතික කාන්තාවක් නිරෝධායනයට ලක් කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අදාළ තැනැත්තියට ඉබෝලා ආසාධිත බව තහවුරු වුවහොත්, එය 2014 වසරෙන් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාධිත සිදුවීම බවට පත්වනු ඇති.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු අයෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.
28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට ශරීර වේදනාවක් හටගෙන ඇති නමුත්, ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් බලා සිටින බවත්, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් අදාළ මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
නැගෙනහිර අප්‍රිකානු රටක සිට පැමිණි මෙම සංචාරක කාන්තාව ඉන්දියාවේ අහමදාබාද් හරහා දකුණුදිග බැංගලෝර් නගරයට පැමිණ ඇති අතර, ඇයගේ පරීක්ෂණ වාර්තා දිනක් හෝ දෙකක් ඇතුළත ලැබීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉන්දියාවේ ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළු වීමේ ස්ථානවල සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණ, නිරෝධායනය සහ වෙනත් ආරක්ෂිත පියවරයන් සම්බන්ධයෙන් උපදෙස් මාලාවන් නිකුත් කර ඇති බව අමාත්‍ය නඩ්ඩා සඳහන් කර තිබෙනවා.
කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විටත් සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
එසේම කැනඩා රජයෙන් ගත් විශේෂ තීරණයක් ගැන ඇසෙන කතාවයි මේ..
ලොව පුරා යළිත් හිස ඔසවමින් පවතින දරුණු "ඉබෝලා" (Ebola) වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලිකව රට තුළට ඇතුළුවීම තහනම් කිරීමට කැනඩා රජය පියවර ගෙන තිබෙනවා..
ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල වැසියන්ට එළඹෙන බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇතියි.
කැනඩා රජය පෙන්වා දෙන්නේ ඉබෝලා වෛරසය තම රට තුළට ඇතුළුවීම සහ ව්‍යාප්ත වීම අවම කර, එරට වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම දැඩි තීරණය ගත් බවයි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කොංගෝ රාජ්‍යය තුළ ව්‍යාප්ත වන ඉබෝලා වෛරසයේ ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo) ප්‍රභේදය ජාතික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම මේ වන විට "ඉතා ඉහළ" මට්ටමක පවතින බවයි.
පසුගිය සතියේදී ඇමරිකා එක්සත් ජනපදය ද මෙම අප්‍රිකානු රටවල් තුනේ සංචාරය කළ ඇමරිකානු නොවන පුරවැසියන්ට තම රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම බලපෑමට ලක්වූ කලාපවල සංචාරය කර මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන කැනඩා පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් සහ අනෙකුත් විදේශීය පදිංචිකරුවන් සඳහා මැයි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 21ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මේ වන තෙක් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හෝ බහමාස් යන රටවලින් කිසිදු ඉබෝලා ආසාදිතයෙකු වාර්තා වී නැහැ.