ඒ මෙරට වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් පර්යන්ත රෝහලක සිදුකළ පළමු ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම අතිසාර්ථක ලෙස නිමාවීමයි.
මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වන්නේ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලෙනි.
මේ සංවේදී කතාවේ ප්‍රධානම වීරයා වන්නේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකි. දීර්ඝ කාලීන වකුගඩු රෝගයකින් පීඩා විඳිමින්, ජීවිතයත් මරණයත් අතර සටනක සිටි මේ ආදරණීය පුතුට තමන්ගේම ලෙයින් උපන් පියා විසින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබුණි.
පසුගිය මැයි 07 වැනිදා සිදුවූ මෙම සංකීර්ණ සැත්කමෙන් පසු, මේ වන විට දරුවා මෙන්ම වකුගඩුව පරිත්‍යාග කළ පියා ද සම්පූර්ණ සුවය ලබා ඉතාමත් සතුටින් පසුවන බව අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී රෝහල් බලධාරීන් අනාවරණය කළේය.
වැඩිහිටියෙකුට වකුගඩුවක් බද්ධ කරනවාට වඩා දරුවෙකුට එය සිදුකිරීම තාක්ෂණිකව ඉතා අභියෝගාත්මක සහ සංකීර්ණ කටයුත්තකි. නමුත් පොළොන්නරුව වකුගඩු රෝහලේ දක්ෂ වෛද්‍ය කණ්ඩායම පැය 2 හමාරක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ශල්‍යකර්ම දෙකම සාර්ථකව සිදුකර අවසන් කර ඇත්තේ කිසිදු සංකූලතාවයකින් තොරවය.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසන්නේ මින් ඉදිරියට සමස්ත ශ්‍රී ලාංකේය දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම නොමිලේ සිදුකිරීමට සිය රෝහල සූදානම් බවයි.
"කිසිම බියක්, සැකයක් තියාගන්න එපා. අපේ රෝහලේ දක්ෂ වෛද්‍ය, හෙද සහ සියලු කාර්ය මණ්ඩලවල කැපවීම මත මේ සේවාව උපරිමයෙන්ම ලබාදෙන්න අපි සූදානම්..." යැයි වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
මෙතෙක් කලක් ලංකාවේ ළමා වකුගඩු බද්ධ කිරීම් සිදුකළේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පමණි. නමුත් දැන් පොළොන්නරුව රෝහලත් ඒ අතරට එක්වීම රටටම ලොකු සහනයකි.
දරුවන්ගේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වීමට ප්‍රධානතම හේතුව සංජානනීය වකුගඩු සහ මූත්‍රා මාර්ගය ආශ්‍රිත ආබාධ බැවින්, දරුවන්ට එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම සෑම පළාතකම ඇති ළමා වකුගඩු රෝග විශේෂඥ සායන වෙත යොමුකරන ලෙස ද වෛද්‍යවරුන් මතක් කර සිටියි.
දරුවෙකුට නව ජීවිතයක් දෙන්නට දිවා රෑ නොබලා කැපවූ පොළොන්නරුව වකුගඩු රෝහලේ වීර වෛද්‍ය කණ්ඩායමටත්, පුතු වෙනුවෙන් ජීවිතය කැපකළ ඒ ආදරණීය පියාටත් අපගේ ප්‍රණාමය!