ඒ නූපන් දරුවා වෙනුවෙන් මව්කෙනෙක් මහා මෙරකටත් වඩා උසට හීන මාලිගා තනනවා. හැබැයි ඒ දහසකුත් බලාපොරොත්තු, හීන එක මොහොතකින් බොඳවෙලා ගියොත්... ඒ දැනෙන වේදනාව වචන කරන්න මේ ලෝකේ කිසිම භාෂාවක අකුරු මදි.
ලංකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන "හිරු පොඩි වැඩ්ඩෝ" වේදිකාවෙන් අද දිනයේදී අහන්න ලැබුණේ මුළු රටේම ප්‍රේක්ෂකයන්ගේ පපුව හෝස් ගාලා යන විදියේ, දෑස් කඳුළින් පුරවන සංවේදීම කතාවක්.
මේ වැඩසටහනට ඉදිරිපත් වුණු පුංචි පුතෙක් තමන්ගේ හිතේ තිබුණු ලොකුම ආසාව සහ ජීවිතේ සිද්ධවුණු ලොකුම අහිමි වීම ගැන අහිංසක විදිහට වේදිකාව උඩදී හෙළි කළා. මේ පුංචි පුතා පණ වගේ ආසාවෙන්, මඟබලාගෙන ඉඳලා තියෙන්නේ තමන්ට සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් ලැබෙනකම්. හැබැයි දෛවය ඔවුන්ට කර තිබුණේ දරාගන්න බැරි සරදමක්.
"අම්මා මල්ලි කෙනෙක් ගේන්න ගියා... එයා මොකක් හරි වෙලා නැති වුණා..." කියා මේ පුංචි දරුවා පවසද්දී එකම එක මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා.
පුංචි පුතා කියපු ඒ කතාව, වේදිකාව අසල සිටි ඔහුගේ ආදරණීය අම්මා කඳුළු පිරුණු දෑසින් යුතුව වචනවලට පෙරලුවේ මෙන්න මෙහෙමයි.
"ඔව්.... අපිට තව පුතෙක් හම්බෙන්න හිටියා.. එයා නැති වුණා... දැන් මාස හයක් වගේ වෙනවා... ගිය අවුරුද්දේ තමයි ඒක වුණේ... එයාලා මාර ආසාවෙන් හිටියේ මල්ලි කෙනෙක් ගේනකම්..."
තමන්ගේ කුස ඇතුළේ , මාස ගණනක් පෙරුම් පුරපු ඒ සිහිනය අහිමි වෙද්දී ඒ අම්මා විඳපු වේදනාව ඇය පවසද්දී, එතන සිටි හැමෝගෙම නෙතට කඳුළු උනන්නට වුණා.
වැඩසටහන අවසානයේදීත් මේ පුංචි පුතා තමන්ගේ හිතේ තවමත් නොමැකී තියෙන ඒ ආසාව ගැන ඉතාමත් හැඟීම්බරව මතක් කර සිටියා.
"මන් ගොඩක් ආස මල්ලි කෙනෙක්ට ......"
සාමාන්‍යයෙන් පුංචි දරුවෝ තමන්ට සහෝදරයෙක් ලැබෙන්න ඉන්නවා කිව්වම ඒ දිහා බලන්නේ මාරම බලාපොරොත්තුවකින්. ඉතින් ඒ ආසාවෙන් හිටපු මල්ලි තමන්ට දකින්නවත් නොලැබී සදහටම අහිමි වුණා කියන එක මේ පුංචි හිතට කොයිතරම් දුකක් වෙන්න ඇත්ද?