හැබැයි මේක නිකම්ම නිකන් වාසනාවක් නෙවෙයි. මේක පිටුපස තියෙන්නේ ලොකු විද්‍යාත්මක කතාවක්, හෝමෝන සෙල්ලමක් සහ පිරිමින්ගේ තියෙන ඇතැම් වගකීම් විරහිත හැසිරීම් සමුදායක්. මේ නිබන්ධනයෙන් අපි හොයලා බලමු, ඇයි පිරිමි අය කාන්තාවන්ට වඩා ඉක්මනටම "ටටා" කියන්නේ කියලා!
කාන්තාවන් සහ පිරිමින් අතර පවතින ආයු කාල පරතරයට බලපාන ප්‍රධානතම බාහිර සාධකය තමයි ජීවන රටාව. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාරා හාපර් පෙන්වා දෙන විදිහට, රුසියාව සහ යුක්‍රේනය වැනි රටවල කාන්තාවන් පිරිමින්ට වඩා අවුරුදු 10කටත් වඩා වැඩියෙන් ජීවත් වෙනවා. මේකට හේතුව මොකක්ද දන්නවාද? එරට පිරිමින් අතර පවතින අධික දුම්පානය සහ මත්පැන් පානයයි!
පොදුවේ ගත්තොත් ලෝකේ හැම තැනම පිරිමි අය තමන්ගේ කෑම බීම ගැන හිතන්නේ නැහැ.. Fast food සහ සෞඛ්‍ය සම්පන්න නොවන කෑම කන්න ඔවුන් හරිම ආසයි. ඒ විතරක් නෙවෙයි, පිරිමි අය ලෙඩක් හැදුණත් ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න හොරයි. හැබැයි මෙතනදී විවාහක පිරිමින්ට පොඩි වාසියක් තියෙනවා, මොකද තමන්ගේ සහකාරිය කොහොමහරි බලෙන්ම හරි ඔවුන්ව ඩොක්ටර් ළඟට ඇදගෙන යන නිසා!
මීට අමතරව, පිරිමි අය පිරිමිකම පෙන්වන්න ගිහින් අනවශ්‍ය විදිහට අවදානම් ගන්නවා. රිය අනතුරු, ප්‍රචණ්ඩ ක්‍රියා, මිනීමැරුම් සහ සියදිවි නසාගැනීම් නිසා මියයන පිරිමි සංඛ්‍යාව කාන්තාවන්ට වඩා බෙහෙවින් ඉහළයි.
දැන් අපි හැරෙමු ජීව විද්‍යාත්මක පැත්තට. කාන්තාවන්ගේ සිරුරේ තියෙන "ඊස්ට්‍රජන්" හෝමෝනය සැබෑ සුපිරි වීරයෙක් වගේ ක්‍රියා කරනවා. මහාචාර්ය කොන්සුවෙලෝ බොරාස් පවසන පරිදි, ඊස්ට්‍රජන් මඟින් කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා, සහ සෛල වයස්ගත වීම වළක්වනවා.
හැබැයි පිරිමින්ගේ තියෙන "ටෙස්ටොස්ටෙරෝන්" හෝමෝනය ඔවුන්ව වඩාත් ආක්‍රමණශීලී සහ අවදානම් සහගත හැසිරීම්වලට පොළඹවනවා. වසර 2012 දී කරපු පුදුම හිතෙන පර්යේෂණයකින් හෙළි වුණේ, අතීතයේ කොරියාවේ විසූ වන්ධ්‍යාකරණයට ලක් කළ (ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම නැවතුණු) පිරිමින්, සාමාන්‍ය පිරිමින්ට වඩා අවුරුදු 14 සිට 19 දක්වා දිගු කාලයක් ජීවත් වුණු බවයි! මේකෙන් පැහැදිලි වෙනවා නේද ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ පිරිමින්ගේ ආයුෂ කොට කරන හොරෙක් කියලා?
ප්‍රවේණි විද්‍යාව පැත්තෙන් බැලුවොත්, කාන්තාවන්ට X වර්ණදේහ දෙකක් (XX) තියෙනවා. පිරිමින්ට තියෙන්නේ XY විතරයි. මේක කාන්තාවන්ට ලැබුණු ලොකු "Backup" එකක්. මොකද එක X වර්ණදේහයක ලෙඩක් හෝ විකෘතියක් තිබුණොත්, අනෙක් නිරෝගී X වර්ණදේහයෙන් ඒක බැලන්ස් කරගන්න පුළුවන්. හැබැයි පිරිමින්ට තියෙන්නේ එක X එකක් විතරක් නිසා, ඒකේ ලෙඩක් තිබුණොත් බේරෙන්න අමාරුයි.
හැබැයි කුරුල්ලන්ගේ ලෝකේ මේක කණපිට හැරෙනවා! පක්ෂීන් අතරේ වැඩි කල් ජීවත් වෙන්නේ පිරිමි සත්තු. මොකද කුරුල්ලන්ගේ වර්ණදේහ පිටපත් දෙකක් පිහිටන්නේ පිරිමි සතුන්ට නිසයි.
පරිණාමීය ජීව විද්‍යාවට අනුව, සිංහයන් සහ ගෝරිල්ලන් වැනි සතුන් අතර පිරිමි සතාට ගැහැනු සතුන් ආකර්ෂණය කරගැනීමට ලොකු සටනක් කරන්න වෙනවා. මේ නිසා තමන්ගේ ශරීරය විශාල කරගන්න, විශාල අං හෝ දත් වර්ධනය කරගන්න ඔවුන්ට විශාල ශක්තියක් වැය කරන්න වෙනවා. මේ "Show-off" එක නිසාම ඔවුන්ගේ ආයු කාලය කෙටි වෙනවා.
නමුත් මිනිසා වැනි ක්ෂීරපායීන් තුළ මව (කාන්තාව) දිගුකල් ජීවත් වීම පැටවුන්ගේ ආරක්ෂාවට වටින නිසා, ස්වභාවධර්මය විසින්ම පරිණාමයේදීම ගැහැනු සතුන්ට දිගු ආයු කාලයක් ලබා දීලා තියෙනවා.
කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කලක් ජීවත් වුණාට, ඒ හැම කාලයක්ම සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. විද්‍යාඥයන් පවසන්නේ "පිරිමින්ගේ ජීව විද්‍යාව ඔවුන්ව මරණයට ඇද දමද්දී, කාන්තාවන්ගේ ජීව විද්‍යාව ඔවුන්ව දිගුකාලීන ආබාධිත හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත් කරනවා" කියලයි. ඒ කියන්නේ කාන්තාවන් තමන්ගේ ජීවිත කාලය පුරාම කොන්දේ වේදනාව, ආතරයිටිස්, හිසරදය සහ විශාදය (Depression) වැනි මාරාන්තික නොවන නමුත් පීඩාකාරී ලෙඩ රෝගවලින් වැඩි වශයෙන් බැට කනවා.
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වීම පිටුපස ජාන සහ හෝමෝන වැනි ස්වභාවික සාධක තිබුණත්, හැමදේම තීරණය වෙන්නේ ඒකෙන් විතරක්ම නෙවෙයි. අපි පිරිමියෙක් වුණත් කාන්තාවක වුණත්, අපේ බාහිර පරිසරය, ගන්නා ආහාර, කරන ව්‍යායාම, නිවැරදි නින්ද සහ මානසික ආතතිය පාලනය කරගැනීම මත අපිට ලස්සන, නිරෝගී වගේම දිගු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් පිරිමි පාර්ශවයේ යාළුවනේ, ඔයාලත් අද ඉඳලම තමන්ගේ සෞඛ්‍යය ගැන මීට වඩා හිතුවොත් නරකද?