"ඉස්කෝලෙ ළමයි ටිකයි ගුරුවරුයි වෙරළට දුවගෙන ඇවිත් මගේ ඉස්සරහින් යනකොට මම කිව්වා මේ හරිය අවදානම් නිසා මුහුදට බහින්න එපා කියලා. නමුත් ඇහුවේ නැහැ. ජීවිතාරක්ෂක නිලධාරියාත් කිව්වා යන්න එපා කියලා. ඒත් ටික වෙලාවක් බලන් ඉඳලා ළමයිනුයි ගුරුවරයයි මුහුදට බැස්සා"යැයි කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් රළ පහරකට හසුවූ සිසුවිය බේරා ගැනීමට ගිය ගුරුවරයෙක් දියේ ගිලී මියගිය සිදුවීම සම්බන්ධයෙන් වෙරළ ආසන්නයේ සුළු ව්‍යාපාරයක නිරතව සිටින පී. රාජා ක්‍රිෂාන් පැවසුවා.
අධ්‍යාපන චාරිකාවකට සහභාගිවූ මොනරාගල සිට පැමිණි බඩල්කුඹුර, වයිකුඹුර දෙමළ විද්‍යාලයේ ගණිත ගුරුවරයා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.
මේ අනතුර සිදුවන්නේ පසුගිය 25 වැනිදාය. එම විදුහලේ 10 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසක් සමඟ මේ ගුරුවරයා ඇතුළු පිරිසක් චාරිකාවට එක්ව සිට ඇති බව සඳහන්. ඒ අතර දැරිවියන් ද සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
මුහුදේ දිය නාමින් සිටියදී දරුවන් 5 දෙනෙක් සමඟ ගුරුවරයා සැඩ පහරට හසුව තිබෙනවා.
"දිය නාමින් සිටි ස්ථානයේ තිබූ ගල්පරයට එපිටින් පැමිණි දියවැලකට හසුවෙලා ගුරුවරයා සහ දරුවන් පස්දෙනෙක් මුහුදට එකවරම ඇදීගෙන යනවා දැක්කා. ජීවිතාරක්ෂක නිලධාරියා කෑගසමින් ඔවුන් බේරාගන්න මුහුදට පැන්නා. මුලින්ම ඈතට ගහගෙන යමින් සිටි ගුරුවරයා බේරාගෙන වෙරළට ගෙනාවා. ඒ සමඟම දරුවන් පස් දෙනකුත් දියේ ගිලෙමින් හිටියා. ඉන් එක් ගැහැනු දරුවෙක් විනාඩියක් දෙකක් යනතුරු උඩට මතු වුණෙත් නැහැ. එයාගේ කහ පාට ඇඳුමේ රෙදි කෑල්ලක් උඩට එනවා දැකලා ජීවිතාරක්ෂක නිලධාරියා වේගයෙන් එතැනට පීනලා ගිහින් දැරියගේ කොණ්ඩෙන් ඇදගෙන ගොඩට අරන් ආවා. අපි හිතුවේ ඒ ගැහැනු දරුවා මැරෙයි කියලා. නමුත් එයා දැන් රෝහලේ හොඳින් ඉන්නවලු” යැයි පී. රාජා ක්‍රිෂාන් මේ සිද්ධියේ අමිරි මතක ගැන පවසා තිබුණා.
"මුහුදේ ගිලෙමින් සිටි දරුවෝ 5 දෙනයි, ගුරුවරයයි ගොඩට ගෙනාවේ ජීවිතාරක්ෂක පොලිස් නිලධාරියායි. ඒ මහත්තයා නැත්නම් ළමයි පස් දෙනාත් මේ වනවිට ජීවතුන් අතර නැහැ" යැයි ද ඔහු කීවා.
ගොඩට ගෙන එන විට ගුරුවරයා දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවකින් සිටි බව සඳහන් වෙයි. ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබුණා. ගුරුවරයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
එලෙස මියගියේ පනස් හය හැවිරිදි නගුරු පිච්චයි මොහම්මදු නජුම් නමැති අලුපොත,
පිළිමල පදිංචි ගුරුවරයෙක්.
"මම මෙතැනට රාජකාරියට ඇවිත් දැනට මාස දහයක් වෙනවා. එදා ඉඳන් අද දක්වා මේ වෙරළේදී ජීවිත 32ක් බේරගන්න මට හැකි වුණා"යැයි දරුවන් පස් දෙනාගේ ජීවිත බේරාගත් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් බස්නායක මුදියන්සේලාගේ ශ්‍රීමා මදුශංක කියා සිටියා.
"මේ වෙරළ තීරයේ අවදානම් ස්ථානවල රතු කොඩි යොදා සංඥා කර තියෙන්නේ. නමුත් වෙරළේ සංචාරය කරන්න එන අය ඒවා ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ. මේ සිදුවීමට මුහුණ දුන් පාසල් දරුවන් සහ ගුරුවරුන් වෙරළට එනවා දැකලා මම ගිහින් කිව්ව මේ හරියට බහින්න එපා කියලා.
නමුත් ටික වේලාවක් ඉඳලා ඒ අය වතුරට බැස්සා. හොඳ වෙලාවට මම හිටියේ. මුලින්ම ගොඩගත් ගුරුවරයාට අපි වෙරළේදී කරන්න පුළුවන් පළමුවැනි ප්‍රතිකාර ටික කෙරුවා. හිරවෙලා තිබුණු වතුර ඔක්කොම වමනේ කළා. නමුත් එයාට හුස්ම ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. ඒ නිසා තමයි මම කිව්වේ ඉක්මනට රෝහලට ගෙනියන්න කියලා. මේ ජීවිත බේරගන්න මට ප්රදේශවාසීන්ගෙනුත් ලොකු සහයක් ලැබුණා” යැයි ද පොලිස් කොස්තාපල් බස්නායක මහතා සඳහන් කළේය.
“මේ තරම් දැනුවත් කිරීම් කර තියෙද්දිත්, මාධ්‍යවලිනුත් නිතර කියද්දිත් තමන්ගේ විනෝදය වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න එපා කියලයි ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලන්නේ” යනුවෙන් ද පොලිස් කොස්තාපල් බස්නායක මහතා පැවසීය.
මාස 10ක කාලයේ ජීවිත 22ක් ඔහු බේරාගෙන ඇත්තේ මේ වෙරළ තීරයේ ඇති තාවකාලිකව ඉදිකර ඇති පොල් අතු මඩුවකය. අවම පහසුකම් යටතේ ඔහු තම රාජකාරිය අකුරටම ඉටු කරමින් සිටින්නේ පොලීසියේ ද කීර්ති නාමය ඉහළටම ඔසවමිනි.

දිනමිණ පුවත්පත ඇසුරෙන්..