"මල්ලී.. බුද්ධංගල හංදියේ දරුණු රිය අනතුරක්! ඉක්මනට වරෙන්..." කියන පණිවිඩයත් එක්කම සිද්ධිය වුණු තැනට යද්දී එතන සීයයකට ආසන්න සෙනඟක් වටවෙලා. හැමෝගෙම මූණුවල තිබුණේ බය සහ කම්පනය.
එතන තිබුණු දර්ශනය ඇඟ කිලිපොලා යන එකක්. අනතුරට පත්වුණු ත්‍රීවීල් එකේ විදුලි පහන් ඒ විදිහටම දැල්විලා තිබුණා. ත්‍රීවීල් රථයේ රියදුරු ඉන් එළියට විසිවෙලා වැටිලා ඉද්දී, ඔහුගේ එක පාදයක් විතරක් තවමත් රියදුරු අසුන මත රැඳිලා තිබුණේ අනතුරේ දරුණුකම කියාපාමින්.
සිද්ධිය ඇසින් දුටු එක් අයෙක් පවසන්නේ තමන් විසින් වහාම මැදිහත් වෙලා කුඩා දරුවෙක් සහ අඹුසැමි යුවළක් අම්පාර රෝහලට අරන් ගිය බවයි. ඒ වෙනකොටත් එහි සිටි පිරිමි පුද්ගලයාගේ තත්ත්වය ඉතාමත් අසාධ්‍ය මට්ටමක තිබුණු බව ඔහු කියා සිටියා.
මේ කතාවේ වඩාත්ම සංවේදී කොටස එළියට එන්නේ ඊට පස්සේ. අනතුරට පත්වුණු පවුලේ පියා, ඒ කියන්නේ දුලාංජන ඉමේස්ගේ උපන්දිනය යෙදිලා තිබුණේ මැයි 25 වෙනිදා. හැබැයි මොන හේතුවක් නිසා හෝ උපන්දිනේ දවසේ ගන්න බැරි වුණු රසවත් රාත්‍රී ආහාර වේලක රස බලන්න, ඔහු තමන්ගේ බිරිඳ සහ සිඟිති පැටියත් එක්ක 26 වෙනිදා රාත්‍රියේ මේ ත්‍රීවීල් එකෙන් ගිහින් තියෙන්නේ හරිම සතුටින්. හැබැයි ඒ සතුට මාරයා විසින් අතරමඟදී උදුරා ගනීවි කියලා ඔවුන් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
අනෙක් පැත්තෙන් මේ අනතුරෙන් ජීවිතය අහිමි වුණු ත්‍රීවීල් රථයේ රියදුරු, ක්‍රිස් චානක. 1992 උපත ලැබූ මේ 24 හැවිරිදි තරුණයාත් පුංචි පැටියෙක්ගේ තාත්තා කෙනෙක්. රෑ බෝ වුණත් තමන්ට ලැබෙන හයර් එකකින් කීයක් හරි හම්බ කරලා තමන්ගේ දරු පවුල ජීවත් කරවන්න මහන්සි වුණු අහිංසක පියෙක්.
මැයි 26 රාත්‍රී 8.32 ට විතර බුද්ධංගල දෙසින් අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක්, මේ අහිංසකයන් ආපු ත්‍රීවීල් එකේ දරුණු ලෙස ගැටී තිබෙනවා. අනතුර සිදුවුණු සැනින් ටිපර් රථය නොනවත්වාම වේගයෙන් පලාගිය බවයි අවට සිටි පිරිස් පැවසුවේ. හැබැයි අනතුර සිද්ධ වෙලා පැයකට පමණ පස්සේ ටිපර් රථය සහ එහි රියදුරුව පොලිස් අත්අඩංගුවට ගන්න සමත් වෙලා තියෙනවා.
පිය සෙනෙහස අහිමි වුණු පවුල් දෙකක්: කාගේ වරදින් මේ අනතුර වුණාද යන්න පොලිසිය සහ අධිකරණය තීරණය කරාවි. හැබැයි මේ එකම එක සාපලත් අනතුරෙන් අහිංසක පුංචි දරුවන් දෙන්නෙක්ට තමන්ගේ ආදරණීය "තාත්තාගේ" සෙනෙහස සදහටම අහිමි වෙලා ඉවරයි.
මේ වෙනකොටත් අනතුරට පත්වුණු දුලාංජනගේ බිරිඳ සහ කුඩා සිඟිත්තිය අම්පාර රෝහලේ බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි ආරංචි වෙලා තියෙන්නේ...