සාලියපුර ප්‍රදේශයේ පිහිටි, මර උගුලක් වැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිද්ධ වුණු මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ වයස අවුරුදු 29ක අහිංසක දෙදරු මවක්.
මේ පුවතේ වඩාත්ම හදවත පාරන කතාව තමයි ඇය ජීවිතය ගැටගහගන්න කරපු ඒ අහිංසක මහන්සිය. ඇය ස්වයං රැකියාවක් විදිහට අයිස් පැකට් හදලා විකුණපු කෙනෙක්. එදත් වෙනදා වගේම තමන්ගේ පුංචි දරු පැටවුන් දෙන්නා වෙනුවෙන් කීයක් හරි හම්බකරගන්න, අනුරාධපුර නගරයේ කඩවල්වලට අයිස් පැකට් ටික දීලා ඇය තමන්ගේ යතුරුපැදියෙන් ආපහු නිවස බලා එමින් ඉඳලා තියෙන්නේ හරිම ඉක්මනින් දරුවෝ ළඟට යන්න බලාගෙන.
හැබැයි නිවස පෙනි පෙනී, මේ සාපලත් දුම්රිය හරස් මාර්ගයේදී ඇය ආපු යතුරුපැදිය සුඛෝපභෝගී දුම්රියේ ගැටෙන්නේ මුළු පළාතම සලිත කරමින්.
අනතුරත් එක්කම සාලියපුර ගම්වැසියන් දැඩි සේ කෝපයටත්, කම්පනයටත් පත්වෙලා තියෙනවා. ඔවුන් සෘජුවම චෝදනා කරන්නේ මේ මාරක දුම්රිය හරස් මාර්ගයට දුම්රිය ගේට්ටුවක්වත්, අඩුම තරමේ ඒක ක්‍රියාත්මක කරන්න ගේට්ටුකරුවෙක්වත් බලධාරීන් විසින් දාලා නැති බවයි.
එපමණක් නොවෙයි, මේ දුම්රිය මාර්ගය දෙපසම දරුණු වංගු සහිත නිසා, රේල් පාර අද්දරටම යනකන් දුම්රියක් එනවාද නැද්ද කියලා යතුරුපැදිකරුවන්ට හෝ රියදුරන්ට පෙනෙන්නේ නැහැලු.
ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉතාමත් බැගෑපත්ව වගේම දැඩිව ඉල්ලා සිටින්නේ, තවත් අහිංසක දරුවන්ට තමන්ගේ අම්මාව, තාත්තාව අහිමි වෙන්න කලින්, තවත් මාරක අනතුරක් මේ ස්ථානයේ සිද්ධ වෙන්න පෙර වහාම මේකට ගේට්ටුවක් සවි කරලා ආරක්ෂාව සලසා දෙන ලෙසයි.
තමන්ගේ අම්මා අයිස් පැකට් විකුණලා ඉක්මනටම ගෙදර එයි, තමන්ට කෑම ටිකක් කවයි කියලා මඟ බලන් හිටපු ඒ අහිංසක දරු පැටවුන් දෙන්නාට අද අම්මා වෙනුවට දකින්න ලැබුණේ ඇයගේ දේහය විතරයි.