එවැනි අදහාගත නොහැකි, අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් මේ වන විට අසල්වැසි ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. ඒ, යොවුන් වියේ පසුවන පිරිමි දරුවෙකුගේ කුස තුළ තිබී ඔහුගේම නිවුන් සහෝදරයාගේ ශරීර කොටස් හමුවීමේ ඇඟ ලොමුදැහැගන්වන පුවතයි.
මෙම පිරිමි දරුවා කාලයක සිට දැඩි උදර වේදනාවකින් සහ ශරීරයේ බර සීඝ්‍රයෙන් අඩු වීමකින් පීඩා විඳ තිබෙනවා. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා වෛද්‍යවරුන් වෙත යොමු කළ පසු, ඔවුන් මුලින්ම සැක කර තිබුණේ මෙය උදරයේ හටගත් විශාල ගෙඩියක් කියායි.
නමුත්, වෛද්‍යවරුන් විසින් සිදු කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල දැකීමෙන් ඔවුන් මුළුමනින්ම මවිතයට පත් වුණා. ඒ, එම ස්ථානයේ තිබුණේ සාමාන්‍ය ගෙඩියක් නොව, මිනිස් අස්ථි, හිසකෙස් සහ දත් සහිත අසාමාන්‍ය පටක ස්කන්ධයක් නිසාවෙනි..
වෛද්‍ය විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ "Fetus in fetu" නමින්. මෙය ලෝකයේ අතිශය කලාතුරකින් සිදුවන දුර්ලභ තත්ත්වයක්. මවගේ කුස තුළ නිවුන් දරුවන් වර්ධනය වන ගර්භණී සමයේ මුල් භාගයේදී සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක් මෙයට හේතු වෙනවා.
බොහෝ දෙනෙකුට මෙහිදී මතුවන ගැටලුවක් තමයි පිරිමි දරුවාගේ බඩේ සිටියේ සජීවී දරුවෙක්ද යන්න. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ මෙය "සජීවී නිවුන් දරුවෙක්" නොවන බවයි. එයට ස්වාධීනව ජීවත් වීමේ හැකියාවක් නැහැ. එය ප්‍රධාන දරුවාගේ ශරීරය තුළ පරපෝෂිතයෙකු මෙන් ලේ සහ පෝෂණය උරා බොමින් වැවෙන පටක ස්කන්ධයක් පමණයි. ඒ නිසයි මෙහි අර්ධ වශයෙන් වර්ධනය වූ අස්ථි, දත් සහ හිසකෙස් වැනි දෑ අඩංගු වන්නේ.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සිදු කළ සුවිශේෂී සහ සංකීර්ණ ශල්‍යකර්මයකින් පසුව, මෙම අසාමාන්‍ය කලල ස්කන්ධය පිරිමි දරුවාගේ කුසෙන් සාර්ථකව ඉවත් කිරීමට සමත්ව තිබෙනවා. වාසනාවකට මෙන්, එම යොවුන් දරුවා මේ වන විට කිසිදු අනතුරක් නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මුහුණු පොත ඇසුරෙන්