හැබැයි මෙන්න දැන් අපේ ඒ ආදරණීය කෝපි කෝප්පය, මුළු ලෝකයේම ආර්ථිකය උඩුයටිකුරු කරන ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සරලවම කිව්වොත්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කෝපි කෝප්පයක මිල දැන් පවුම් 4 සීමාවත් පන්නලාලු.... ඒ විතරක් නෙවෙයි, අපි කවුරුත් දන්න ඇමරිකාවේ ප්‍රසිද්ධම ස්ටාර්බක්ස් සමාගම පවා තමන්ගේ කෝපි මිල ගණන් අහස උසට ඉහළ දාන්න පටන් අරන්.
මේ මිල ඉහළ යාමට ප්‍රධානම හේතුවක් තමයි දේශගුණික විපර්යාස. ලෝකෙටම රොබස්ටා කෝපි සපයන ප්‍රධානම රටක් වන වියට්නාමයට මුලින්ම දරුණු නියඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අවුරුද්ද අග හරියේදී සුළි කුණාටු ඇවිත් මුළු කෝපි වගාවන්ම විනාශ කරලා දැම්මා.
හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේකට ලෝක දේශපාලනයත් ගෑවිලා තියෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙනාපු අලුත්ම බදු ප්‍රතිපත්ති නිසා වියට්නාමයට 46%, ඉන්දුනීසියාවට 32% වගේම බ්‍රසීලයට 50% ඉතාමත් දැඩි බදු බරක් පැටවුණා.
මේ නිසා බ්‍රසීලයෙන් ඇමරිකාවට යන කෝපි ප්‍රමාණය අඩකින්ම කඩා වැටුණා. ඇමරිකානු වෙළෙඳපොළේ කෝපි කුඩු මිල වාර්තාගත විදිහට ඉහළ යද්දී, පාරිභෝගිකයෝ ට්‍රම්ප්ට විරුද්ධව දැඩි විරෝධතාවලට පවා බැස්සා. අන්තිමේදී මිනිස්සුන්ගේ කෑගැසීම දරාගන්න බැරුව, පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප්ට සිද්ධ වුණා විශේෂ විධායක නියෝගයක් නිකුත් කරලා කෝපි ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් මේ බදුවලින් නිදහස් කරන්න.
ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙන විදිහට කෝපි මිල කොච්චර ඉහළ ගියත් මිනිස්සු කෝපි මිලදී ගන්න එක සීමා කරලා නැහැ.
විශේෂයෙන්ම අද කාලේ ඉන්න තරුණ පරපුර (Gen Z) අතර Cold Brews වැනි නවීන විලාසිතාවේ කෝපි පාන වර්ග පුදුමාකාර විදිහට ජනප්‍රියයි. ඒ නිසා මිල කීයක් වුණත් තරුණ කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ "කෝපි ලව් එක" අතහරින්න සූදානම් නැති නිසා කෝපිවලට තියෙන ලෝක ඉල්ලුම තවමත් ඒ විදිහටම තියෙනවලු.