අනේ අපිට ජිම් යන්න වෙලාවක් නැහැ, උදේට දුවන්න ඇහැරෙන්න කම්මැලියි කියන එක අද පොදු මාතෘකාවක්. හැබැයි අන්න ඒ හැමෝටම සතුටුදායක, පුදුම හිතෙන අලුත්ම පර්යේෂණ තොරතුරක් දැන් ලෝකයෙන්ම වාර්තා වෙනවා!
ඔබ විශ්වාස කරනවාද? දිනකට මිනිත්තු 5ක් වැනි ඉතා සුළු කාලයක් ව්‍යායාම කිරීමෙන් ඔබේ ආයු කාලය සැලකිය යුතු ලෙස දිගු කරගත හැකි බව දැන් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා.
එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ස්කැන්ඩිනේවියානු රටවල පුද්ගලයන් 150,000කට අධික පිරිසක් යොදාගෙන කරපු මහා පරිමාණ පර්යේෂණයකින් තමයි මේ රහස හෙළි වෙලා තියෙන්නේ.
නෝර්වේහි ක්‍රීඩා විද්‍යා පාසලේ මහාචාර්ය අල්ෆ් එක්ලූන්ඩ් පවසන විදිහට, දිනකට මිනිත්තු පහක් විතරක් වේගයෙන් ඇවිදීම, සයිකල් පැදීම හෝ පඩිපෙළක් නැගීම වැනි මධ්‍යස්ථ ව්‍යායාමයක නිරත වීමෙන් අකල් මරණ සිදුවීමේ අවදානම දහයෙන් එකක් (10%කින්) විතර අඩු කරගන්න පුළුවන්!
මෙයින් අදහස් කරන්නේ නිරෝගීව ඉන්න මිනිත්තු 5ක් විතරක් ප්‍රමාණවත් කියන එක නෙවෙයි. හැබැයි කිසිම ව්‍යායාමයක් නොකර කම්මැලි වෙලා ඉන්නවට වඩා, මේ මිනිත්තු 5 ඔබේ ජීවිතය වෙනස් කරන්න බලපාන ප්‍රබල සාධකයක් වෙනවා කියන එකයි.
අපි කෑම කන අතරතුර බඩගින්නට ස්නැක්ස් කනවා වගේ, දෛනික කාර්යයන් අතරතුර කරන කෙටි ව්‍යායාම වලට පර්යේෂකයන් කියන්නේ Exercise Snacking කියලයි. මේක ජිම් එකකට ගිහින් දාඩිය පෙරාගෙන කරන ව්‍යායාම වලට වඩා හාත්පසින්ම වෙනස් සහ ලෙහෙසි ක්‍රමයක්.
හෘදස්පන්දනය වේගවත් කරන ඕනෑම පුංචි දෙයක් මේකට අයිති වෙනවා...
වේගයෙන් ගෙදර දොර පිරිසිදු කිරීම.
මුළුතැන්ගෙයි වැඩ කරන ගමන් සින්දුවකට නටන එක.
සාමාන්‍ය තත්ත්වයට වඩා වේගයෙන් පඩිපෙළක් නැගලා යන එක.
වාහනය නවත්වන තැන ඉඳන් වැඩපොළට මිනිත්තු 5ක විතර දුරක් පයින් ඇවිදගෙන යාම.
මෙමගින් අපේ ශරීරයේ ආහාර ශක්තිය බවට පත් කරන ක්‍රියාවලිය වේගවත් වන අතර, ව්‍යායාමය නතර කරලා විවේක ගන්න වෙලාවෙත් ශරීරයේ යන්ත්‍රය දිගටම ක්‍රියාත්මක වෙන බව මහාචාර්ය මාරී මර්ෆි පවසනවා.
ඔබ දවස තිස්සේම පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේකත් දැනගන්න. දිනපතා ඔබ වාඩි වී සිටින කාලයෙන් මිනිත්තු 30ක් අඩු කළොත්, අකල් මරණ අවදානම 7%කින් අඩු කරගන්න පුළුවන්.
ඇවිදීම ගැන කියනවා නම්, දිනකට පියවර 2,000ක් විතරක් ඇවිදින කෙනෙකුට වඩා, පියවර 2,517ත් 2,735ත් අතර ප්‍රමාණයක් ඇවිදින කෙනෙකුගේ හෘද රෝග අවදානම 11%කින් අඩු වෙනවා. ඒ කියන්නේ ලොකු වෙනසක් කරන්න පුංචි පියවරක් තිබීම ප්‍රමාණවත්!
කාර්යබහුලත්වය මධ්‍යයේ වුව ද, පහත දැක්වෙන සරල ජීවන රටා වෙනස්කම් මඟින් ඔබේ ශාරීරික යහපැවැත්ම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගත හැක.
සෝපාන හෝ විදුලි පඩිපෙළ භාවිතය හැකිතාක් සීමා කර, පඩිපෙළ භාවිත කිරීමට පුරුදු වන්න.
කෙටි දුර ගමන් සඳහා වාහන භාවිත කිරීම වෙනුවට පයින් ගමන් කිරීමටත්, මිල දී ගන්නා ද්‍රව්‍ය රැගෙන ඒමේදී බාහුවලට මඳ ව්‍යායාමයක් ලැබෙන සේ ඒවා රැගෙන ඒමටත් උත්සාහ කරන්න. එමඟින් ඇති වන සුළු මාංශ පේශි ආතතිය ඔබේ ශරීරයේ ශක්තිමත්භාවයට ඉවහල් වේ.
මුළුතැන්ගෙයි කටයුතුවල නිරත වන අතරතුර හෝ රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය වන කෙටි කාල සීමාවන් තුළ ස්කොට්ස් හෝ පුෂ් අප්ස් වැනි සරල ව්‍යායාම කිහිපයක නිරත වීමට පුරුදු වන්න.
මෙවැනි කෙටි කාලීන ශාරීරික ක්‍රියාකාරකම් දවස පුරා ක්‍රමවත්ව එකතු වීමෙන්, ඔබේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන අතරම ආයු කාලය දීර්ඝ කර ගැනීමට ද එය ප්‍රබල පිටුවහලක් වනු ඇත. මෙය ඔබේ ශරීරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන, දිගුකාලීන ප්‍රතිලාභ ගෙන දෙන සැබෑ සෞඛ්‍ය සම්පන්න පුරුද්දකි.