මේ නිසා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි සහිත දේශගුණය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් දරුණු ලෙස පවතිනු ඇති බවටයි වාර්තා වෙන්නේ. කුඩයක්, වැහි කබායක් නැතුව නම් මේ දවස්වල එළියට බහිනවා බොරු!
පසුගිය පැය 24 ඇතුළත වාර්තා වුණු වර්ෂාපතන දත්ත දෙස බැලීමේදී සැබවින්ම අහස හිල් වී ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අද (22) අලුයම 4.00ට අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබෙන්නේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන්. එය මිලිමීටර 244ක මහා වැස්සක්! ඊට නොදෙවෙනි වුණු වේයන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර 238ක වැස්සකුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර 230ක තද වැස්සකුත් ඇද හැලී තිබෙනවා. මේ අධික වර්ෂාපතනය නිසා එම ප්‍රදේශවල ජන ජීවිතයටද යම් යම් බාධා එල්ල වී ඇති බවයි ආරංචි වෙන්නේ.
කාලගුණ අනාවැකිවලට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි තවදුරටත් ඇතිවිය හැකි අතර, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙනවා. මීට අමතරව උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා.
වැස්ස විතරක් නෙවෙයි, මේ දවස්වල හුළඟත් සෙල්ලම් නැහැ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 35ත් 45ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකියි.
මේ නිසා ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අකුණු ගහන වෙලාවට විදුලි උපකරණ ගලවා තැබීමටත්, ජංගම දුරකථන භාවිතයෙන් වැළකී ආරක්ෂිතව නිවෙස් තුළ රැඳී සිටීමටත් වගබලා ගන්නා ලෙස අපත් ඔබෙන් ඉල්ලා සිටිනවා.