රුපියල බාල්දු වීමත් එක්කම ලබන මාසයේ ඉඳන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට තවත් තදින් තට්ටු කරන්න යන පුවත් කිහිපයක්ම දැන් කරළියට ඇවිත් තියෙනවා.
ලබන ජූනි මාසයේදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිද්ධ වෙන්න නියමිතයි. හැබැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියන්නේ රුපියල අවප්‍රමාණය වීම මේකට සෘජුවම බලපානවා කියලයි.
ඒ අනුව දැනට තියෙන අවම බස් ගාස්තුව වන රුපියල් 30, රුපියල් 40 දක්වා ඉහළ යා යුතු බව ඔහු පවසනවා.
බස් ගාස්තු විතරක් නෙවෙයි, උදේ හවස උයන්න පිහන්න ගන්න බඩු ටිකටත් වැඩේ සෙට් වෙලා.
රුපියල බාල්දු වීම නිසා පිටරටින් ගේන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සෑහෙන්න වැඩිවෙමින් පවතිනවා කියලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා සඳහන් කරනවා.
ඒ කියන්නේ ඉස්සරහට සුපර් මාර්කට් එකකට, කඩේකට ගිහින් බඩු ටිකක් ගන්න එකත් ලේසි වෙන්නේ නැහැ.
හවසට යාළුවෝ එක්ක එකතු වෙලා කිරි තේ එකක් බීපු කාලෙත් ඉවරයි වගේ.
ආනයනික කිරිපිටි මිල වැඩි වීමත් එක්ක, කිරි තේ එකක මිල රුපියල් 5.00කින් ඉහළ දමන්න සිද්ධ වෙනවා කියලා සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඊයේ (20) ප්‍රකාශ කළා.