මහනුවර ඊ.එල් සේනානායක වීදියේ පිහිටපු පීපල්ස් ෂෙඩ් (ඉන්ධන පිරවුම්හල) එකට හරියටම යාබදව තිබුණු මහල් 6කින් යුත් විශාල ගොඩනැගිල්ලක කොටසක් එකපාරටම කඩාගෙන වැටිලා තියෙනවා.
මේ අවාසනාවන්ත අනතුරෙන් එතන වැඩ කරමින් සිටි අහිංසක කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය.
සිද්ධිය වෙලා තියෙන්නේ අද (24) දවල් 11.30ට විතර. කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩ කර කර ඉන්න වෙලාවක තමයි බිල්ඩිමේ උඩ තට්ටුවක කෑල්ලක් එකපාරටම මහා සද්දෙකින් බිමට කඩන් වැටිලා තියෙන්නේ. ඒ වෙලාවේ කඩාගෙන වැටුණු ලොකු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවෙලා එක කම්කරුවෙක් හිරවෙලා ඉඳලා තියෙනවා.
හැබැයි ඒ වෙලාවේ එතන වටපිටාවේ හිටපු මිනිස්සු මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව, වහාම ක්‍රියාත්මක වෙලා කොන්ක්‍රීට් එකට යටවෙලා හිටපු ඒ මනුස්සයාව බේරගෙන වහාම හොස්පිට්ල් එකට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ක්ෂණික මැදිහත්වීම නිසා තමයි ලොකු විනාශයක් වැලකුණේ.
මහනුවර පොලීසියෙන් පවසන විදිහට, මේ අදාළ තට්ටු 6 ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිටතට පන්නලා තිබුණු කොන්ක්‍රීට් කොටසක් තමයි මෙලෙස එකපාරටම ගැලවිලා බිමට වැටිලා තියෙන්නේ. ෂෙඩ් එකක් ගාවම මේ වගේ දෙයක් වුණු එකෙන් අවට හිටපු හැමෝම එක මොහොතකට දැඩි කලබලයට පත්වුණා.
කොහොම වුණත් මේ සිද්ධිය වුණේ ඇයි, බිල්ඩිමේ ප්‍රමිතියේ අවුලක්ද කියලා මහනුවර පොලීසියෙන් මේ වෙනකොටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.