ජීවිත 6ක් එක තැනම නැති කරමින්, තවත් පිරිසක් රෝහල් ගත කළ මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් මේ වන විට ඉතාමත් තීරණාත්මක තොරතුරු රැසක් පොලීසිය විසින් අනාවරණය කරගෙන තියෙනවා...
පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෙම මාරක කැබ් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී දැඩි ලෙස බීමත්ව සිට ඇති බවයි. බිලිගත් ජීවිත ගැන කිසිදු වගකීමක් නැතිව, බීමත්ව රථය පදවා ඇති මෙම සැකකාර රියදුරු වයස අවුරුදු 42ක පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.
අහිංසක මිනිසුන් යට කරමින් මහා විනාශයක් සිදු කළ මෙම රියදුරු, අනතුරෙන් පසු තුවාල ලැබූවන් දෙසවත් නොබලා කැබ් රථය ද පදවාගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ගොඩගම හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් පලා යමින් සිටි සැකකාර රියදුරාව ලුහුබැඳ ගොස් සාර්ථකව අත්අඩංගුවට ගැනීමට සමත්ව වෙලා තියෙනවා...
පොලීසිය පවසන පරිදි මෙම බිහිසුණු අනතුරෙන් එකම ස්ථානයකදී පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15, 32 සහ 56 යන වයස්වල පසුවූ කාන්තාවන් තිදෙනෙක් ,වයස අවුරුදු 35 සහ 38 යන වයස්වල පසුවූ පිරිමි පුද්ගලයන් තිදෙනෙක්.
එමෙන්ම, කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා මේ වන විට හෝමාගම මූලික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මදක් සිතන්න, දන්සලකින් සපයා දෙන බත් පතක් රස විඳින්නට පෝලිමේ සිටි මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත, එක් බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත්කම නිසා නිමේෂයකින් මෙලෙස අළු වී ගියා. පරීක්ෂණ පවත්වන මීගොඩ පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.