ඔහු මෙවර තරගාවලියේ දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවය නිසාම මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය මේ වන විට යොමුව ඇත්තේ සූර්යවංශී දෙසටයි. වයස අවුරුදු 15ක් වුවද, ඔහු පිටිය මැද පෙන්වූ පරිණතභාවය සහ සුපිරි පිතිහරඹය, මෙවර IPL සම්මාන උළෙල ඔහුගේම කරගන්නට සමත් වුණා.
IPL ඉතිහාසයේ මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු නොකළ සුවිශේෂී මෙන්ම වාර්තාගත සම්මාන ද්විත්වයක් එකම තරග වාරයකදී තමන් සතු කරගැනීමට සූර්යවංශී සමත් වුණා. ඒ, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (MVP) සහ නැගී එන ක්‍රීඩකයා (Emerging Player) යන සම්මාන දෙකම එකවර දිනාගැනීමයි. මීට අමතරව වැඩිම ලකුණු ලාභියා වෙමින් 'ඔරේන්ජ් කැප්' (Orange Cap) සම්මානයද ඔහු සතු කරගත්තේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකින්ම පිදුම් ලබමින්.
මෙවර තරග වාරයේදී ඔහු තැබූ සුපිරි වාර්තා කිහිපයක් මෙන්න,
දැවැන්ත ලකුණු සංඛ්‍යාව- ඉනිම් 16කදී ලකුණු 776ක්!
විශ්වකර්ම ප්‍රහාරාත්මක වේගය- 237.30 ක විස්මිත Strike Rate එකක්!
ගේල්ගේ වාර්තාව කුඩු- මෙවර තරග වාරයේදී හයේ පහර 72ක් එල්ල කරමින්, 2012 වසරේ ක්‍රිස් ගේල් තබා තිබූ වැඩිම හයේ පහර වාර්තාව බිඳ දැමීම.
වසර 15කට පසු පළමු වරට- ක්‍රිස් ගේල්ගෙන් (2011) පසුව එකම IPL තරග වාරයකදී වැඩිම ලකුණු ලාභියා සහ ඉහළම ප්‍රහාරාත්මක වේගය වාර්තා කළ පළමු පිතිකරු වීම.
ගුජරාට් ටයිටන්ස් හමුවේ රාජස්ථාන් කණ්ඩායම දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජය වුවද, සූර්යවංශීගේ දක්ෂතාවයට මුළු ලෝකයම හිස නැමුවා. ක්‍රිකට් දෙවියන් ලෙස සලකන සචින් ටෙන්ඩුල්කාර් පවා Cricinfo Honours සම්මාන උළෙලේදී සූර්යවංශී ගැන පැවසුවේ පුදුම සහගත කතාවක්.
"ඔහුගේ මැණික් කටුවල ක්‍රියාකාරීත්වය මාව පුදුමයට පත් කළා. ඔහු කරන්නේ පන්දුවට මුලාවී පහරදීම නෙවෙයි, අනෙක් ක්‍රීඩකයන්ට වඩා කලින් පන්දුවේ දිශාව හඳුනාගෙන ඉතා පහසුවෙන් සීමාවෙන් ඔබ්බට පන්දුව යැවීමයි."
සම්මානයෙන් පිදුම් ලැබූ සූර්යවංශී අහිංසක ලෙස පවසා සිටියේ "ගොඩක් සතුටුයි, හැබැයි සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා ලොකු පීඩනයකුත් තියෙනවා" යනුවෙනුයි.
මෙම තරගාවලිය අවසානයේ සූර්යවංශී ලබාගත් සමස්ත පුද්ගලික මුදල් ත්‍යාගවල වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 30,000කට වඩා අධිකයි. මීට අමතරව ඔහුට තෑගි ලෙස සුපිරි SUV වර්ගයේ මෝටර් රථයක්ද හිමිවුණා.
මේ දරුවාට තවම වයස අවුරුදු 15ක් විතරයි. ඉන්දියාවේ නීත්‍යානුකූලව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුයි. ඒ කියන්නේ තමන්ගේම දක්ෂතාවයෙන් දිනාගත්තු මුල්ම සුපිරි SUV මෝටර් රථය පදවන්නට නම් මේ 15 හැවිරිදි කොල්ලට තවත් වසර 3ක් පුරා බලා සිටීමට සිදුවනවා!
පිතිකරුවන් අතර සූර්යවංශී රජ කරද්දී, පන්දු යවන්නන් අතර පෙරළිකාරයා වුණේ ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා යි. ඔහු තරග 17කදී කඩුලු 29ක් බිඳ හෙලමින් වැඩිම කඩුලු ලාභියාට හිමි 'පර්පල් කැප්' සම්මානය දිනාගත්තා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් කඩුලු 28ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පත්වුණා.
වෛභව් සූර්යවංශී යනු හුදෙක් එක් තරග වාරයකදී බැබළුණු තරුවක් නොවන බවත්, ඉදිරියේදී ලෝක ක්‍රිකට් පිටිය පාලනය කරන සැබෑ සූර්යයෙකු වන බවත් ඔහු දැනටමත් ඔප්පු කර හමාරයි. තමන්ගේ මීළඟ අවධානය ශාරීරික යෝග්‍යතාව (Fitness) කෙරෙහි යොමු කරන බව පවසන මේ පුංචි වීරයාට, තවත් වසර 3කින් තමන්ගේම සුපිරි රථය පදවාගෙන යන්නට හැකි සුභ අනාගතයකට අපත් සුභ පැතුම් එක් කරමු!