ජීවමාන බුදුන් දැකීම හා සමාන දුර්ලභ පුණ්‍යමය අවස්ථාවක් හිමි කරදෙන හිරු උත්තම ධාතු වන්දනාවට මේ වනවිට දිවයිනේ සතර දෙසින් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.
හිරු උත්තම ධාතු වන්දනාව අරඹමින් මඟුල් බෙර සහ හේවිසි හඬ මධ්‍යයේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිම වෙත වැඩම කෙරුණා.
පුදබිමේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාධු නාදය මහියංගනය පුදබිමේ රැව්පිළිරැව් දෙද්දී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ එහි ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලැබුවා.
සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨ පරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ ජීවමාන සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම හා සමානවයි.
අනතුරුව අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහා නායක ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන් විසින් මෙම මහත්ඵල පුණ්‍යකර්මයේ ආනිශංස පිළිබඳව අනුශාසනාවන් සිදුකළා.
ඉන් අනතුරුව දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන්ට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වූණා.
එමෙන්ම, හෙට (02) අලුයම දක්වා ඓතිහාසික මහියංගනය පුණ්‍ය භූමියේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවනවා.