ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ලේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හඡ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම් වලින් 05 වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙන්.
මේ අතර,හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, සියලු ඉස්ලාමීය බැතිමතුන් එක්ව සිදුකරන ආගමික වතාවත් සමානාත්මතාව සහ සහෝදරත්වය ලෝකයට ගෙන යන මහඟු ආදර්ශයක් බවයි.
එමෙන්ම, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මග පෙන්වීම තම ජීවීත වලට සමීප කර ගනිමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩය පහතින්,
''ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.
එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.''