දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින් සිදුවූ මේ හමුවේදී, තමිල්නාඩුවේ සංවර්ධනය ගැන වගේම ලංකාවට සෘජුවම බලපාන ඉතාමත් සංවේදී කරුණක් ගැනත් මහඇමැති විජේ විසින් අග්‍රාමාත්‍ය මෝදිගේ අවධානයට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන්ම අවධානය යොමු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් සීඝ්‍රයෙන් ඉහළ යාම ගැනයි.
මහඇමැති විජේ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් විශේෂ ස්මාරක පත්‍රයේ දත්තවලට අනුව, මෙම 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 12ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ඉන්දීය ධීවරයින් 58 දෙනෙක් ලංකාව භාරයේ පසුවන අතර, බෝට්ටු 266ක්ම ලංකා අත්අඩංගුවේ තියෙනවා කියලා විජේ පෙන්වා දීලා තියෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම උපරිමයෙන්ම එල්ල කරන ලෙස මහඇමැති ජෝසප් විජේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් දැඩිව ඉල්ලා සිට තිබෙනවා.
ධීවර ගැටලුවට අමතරව තමිල්නාඩුවේ අභිමානයට අදාළ කරුණු කිහිපයක් ගැනත් මෙහිදී කතාබහට ලක්වුණා. අග්‍රාමාත්‍ය මෝදි සිය නෙදර්ලන්ත සංචාරයේදී, ඓතිහාසික වැදගත්කමකින් යුත් 'ආනෛමංගලම් සෙප්පේඩු' යළි ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගැනීම සම්බන්ධයෙන් මහඇමැති විජේ සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
එමෙන්ම, තමිල්නාඩුවේ රාජ්‍ය උත්සවවලදී 'තමිල්තායි වාල්ත්තු' ගායනා කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය පැහැදිලි උපදෙස් ලබා දෙන ලෙසත් විජේ අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියා.
දේශපාලනයට ඇවිත් කෙටි කාලයකින් තමිල්නාඩුවේ බලය ඇල්ලූ විජේ, දිල්ලියට ගොස් මෝදි ඉදිරියේ ලංකාවට එරෙහිව කළ මේ ඉල්ලීම නිසා ඉදිරියේදී ලංකාව සහ ඉන්දියාව අතර ධීවර අර්බුදය අලුත් මුහුණුවරක් ගනීවිද කියන එකයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නය!