බේබදු රියදුරෙකුගේ නොසැලකිලිමත් ධාවනය නිසා වෙසක් සිරි නරඹන්න ගිය එකම පවුලේ හතරදෙනෙක් ඇතුළුව ජීවිත 6ක් එකම තැන නිමාවී ගියේ මුළු රටේම දෑසට කඳුළු උනමින්.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සේවයේ නියුතු ලසික ප්‍රියංකර (38) සහ ඔහුගේ බිරිඳ වූ නවීෂා නිලක්ෂි (35) තම කුඩා දරුවන් දෙදෙනාද සමඟින් ඉකුත් සෙනසුරාදා පිළියන්දල පල්ලිය පාරේ පිහිටි මව්පියන්ගේ නිවසට පැමිණ තිබුණේ සතුටු සාමීචියේ යෙදෙන්නටයි. නිවාඩුව නිමා කර ඔවුන්ව යළි අවිස්සාවේල්ලේ පිහිටි නිවස වෙත ඇරලීම සඳහා නවීෂාගේ පියා තමන්ගේ ත්‍රී රෝද රථය සූදානම් කරගත්තා.
ඒ යන අතරමඟදී පාර දෙපස දල්වා තිබූ වෙසක් කූඩු, තොරණ නරඹමින් යන්නට නවීෂාගේ මව වූ පී. බී. ඉන්ද්‍රානි (56) සහ සහෝදරයාගේ දියණිය වූ 10 වසරේ ඉගෙනුම ලබන මලීශා සත්සරණි (15) ද මේ ගමනට එකතු වුණා. මුළු පවුලම ත්‍රී රෝද රථයේ නැඟී සිනාසෙමින් අවිස්සාවේල්ල බලා යද්දී ඔවුන් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති තමන් මේ යන්නේ මාරයා හමුවෙන්නට කියා.
මීගොඩ බැද්දේගෙදර මුල්ල හන්දිය ආසන්නයෙන් යද්දී මඟ දෙපස තිබූ සේනාව දැක ඔවුන් ත්‍රී රෝද රථය නතර කළා. ඒ, එතැන පැවැති රොටි දන්සලකින් රොටි රස බලන්නටයි. ත්‍රී රෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නවීෂාගේ පියා සහ දියණියගේ වැඩිමහල් දරුවා පමණක් රථයේ නතර වෙද්දී, ඉතිරි පිරිස කුඩා දරුවාද වඩාගෙන දන්සල් පෝලිමට එකතු වුණා.
එතැන සිටි පිරිස සතුටින් රොටි ලැබෙන තුරු මඟ බලා සිටි ඒ අවාසනාවන්ත හෝරාවේදී, අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට මාරයෙක් වගේ ඇදී ආ ආවේගශීලී කැබ් රථයක් දන්සල් පෝලිම දෙසට එකවරම කඩා වැදුණා! සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර පෝලිමේ සිටි 13 දෙනෙකු පමණ යට කරමින් කැබ් රථය නොනවත්වාම ධාවනය කර තිබුණා.
අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ රැඳී සිටි පියා සහ වැඩිමහල් දරුවා දෑස් පිය නොහෙලා බලා සිටියදීම, තමන්ගේ පණ වැනි බිරිඳ, දියණිය, බෑණා සහ මිනිබිරිය ලේ විලක් මැද අවසන් හුස්ම හෙළා තිබුණා!
අනතුර සිදු කර මිනිස් ජීවිත බිලිගත් කැබ් රථය පලා යන්නට උත්සාහ කළත්, හෝමාගම ගොඩගම හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට දුන් ක්ෂණික තොරතුරක් මත සැකකාර රියදුරාව කැබ් රථයත් සමඟ ගොඩගම හන්දියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. පොලීසිය සිදුකළ පරීක්ෂණ වලදී සනාථ වී ඇත්තේ මෙම මාරක අනතුර සිදුකරන අවස්ථාවේදී රියදුරා දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බවයි.
අනතුරින් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ වයස සහ විස්තර
පී. බී. ඉන්ද්‍රානි වයස 56 (නවීෂාගේ මව)
නවීෂා නිලක්ෂි වයස 35 (දියණිය)
ලසික ප්‍රියංකර නානායක්කාර වයස 38 (බෑණා - යුද හමුදා සාමාජික)
මලීශා සත්සරණි වයස 15 (මල්ලීගේ දියණිය - 10 වසරේ ශිෂ්‍යාව)
මෙම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සැකකාර රියදුරාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක් බේබදු රියදුරෙකුගේ තිරිසන් සතුට වෙනුවෙන් අද වන විට එකම පවුලක ජීවිත හතරක් අකාලයේ මහපොළොවට පස් වී හමාරයි. වෙසක් බලන්න ගිය පුංචි දරුවන්ට තමන්ගේ ආදරණීය අම්මා, තාත්තා සදහටම අහිමි වී තිබෙනවා. පාරට බහින බේබද්දන් නිසා මෙවැනි අහිංසක පවුල් තවත් කොපමණ නම් වන්දි ගෙවිය යුතුද යන්න මුළු මහත් සමාජයටම ඉතිරි කර ඇති ලොකුම ප්‍රශ්නාර්ථයකි!