හැබැයි මේ වෙසක් කාලය ලං වෙද්දී, හිත නන්නාඳුනන තනිකමකින් පිරිලා අතීතයටම දුවන්න හදන්නේ ඇයි කියලා වෙලාවකට හිතෙනවා. හැමදාම ලකුණු පස්සේ, විභාග පස්සේ දුවපු ඒ හිරවුණු පන්ති කාමරේ, එකම එක දවසකට විතරක් මහා පුදුමාකාර නිදහසක්, සතුටක් ඉතිරි කරපු දවසක් තිබුණා.
මතකද ඒ සුන්දර අතීතය...?
"හෙට ස්කෝලේ උගන්වන්නෙ නෑලු බන්..."
"වෙසක් එකට පන්ති හදනවලු දවසම..."
"අම්මෝ මරු එහෙනම්, හෙට එන්න ඕනිම දවසක්!"
අන්න ඒ වචන ටික ඇහුණාම දැනෙන සතුට අද කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හම්බකරත් ගන්න බැහැ. වෙනදාට ඉස්කෝලේ යන්න හොර, උදේට ඇහැරෙන්න අකමැති මුළු පන්තියම එදාට එකෙක් නෑර ඉස්කෝලේ එන්නේ මහා ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
උදේම වැඩ පටන් ගන්නවා. ප්‍රින්සිපල්ගෙන් හෝල් එකේදී ලැබෙන නියෝගය තමයි, "එක පන්තියකින් වෙසක් කූඩූ තුනක් ඕනේ, සේරම සුදු පාට වෙන්න ඕනේ" කියන එක. ඉතින් කොහොමද ලැජ්ජාවේ බෑනේ, පන්තියම තරඟෙට වැඩ පටන් ගන්නවා.
මුළු ඇඟේම, ඩෙස්ක්වල, ෂර්ට් එකේ පාප්ප නාගෙන, සව් කඩදාසි ටිකට රණ්ඩු වෙවී, පන්තියටම තියෙන කතුරු දෙක තුන හුවමාරු කරගන්න දාන සෙල්ලම මතකද? රටේ නැති වල්පල්, ඕපදූප කියවන ගමන් වෙසක් කූඩූ හැදෙද්දී, තවත් සෙට් එකක් ලස්සනට රැලි කපනවා.
කොල්ලෝ එකා දෙන්නා ඩෙස් උඩ නැගලා පන්තිය පුරා රැලි අලවන්න නූල් අදින්නේ මහ ලොකු බාස්ලා වගේ.
"යකෝ මගේ ඩෙස් එක පාගන්න එපා..."
"පිහදාලා දෙන්නම් යකෝ, කෑ නොගහා ඉඳපන්කෝ!"
"පාප්ප ඉවරයිනේ බන්, බලපන් එහා පන්තියෙන් ඉල්ලලා..."
ඒ කෑගැහිලි, ඒ හිනා සද්දවල් තාමත් පන්ති කාමරවල බිත්ති අස්සේ හිරවෙලා ඇති බන්. අන්තිමට මුළු පන්තියම මහන්සි වෙලා වැඩ ඉවර කරලා බලද්දී, මුළු පන්ති කාමරයම වෙසක් පෝයට හරිම ලස්සනට, නිවී සැනසුණු විදියට හැඩවෙලා තියෙනවා. එදාට දැනෙන ඒ සැනසීම, ඒ ආඩම්බරය වචන කරන්න බැරි තරම්.
මතකද බන් උබෙයි මගෙයි ඒ ලස්සන දවස්? අද අපි ලොකු මිනිස්සු වෙලා. කඩෙන් සල්ලි දීලා ලස්සන ලස්සන වෙසක් කූඩූ, බල්බ් වැල් ගන්න පුළුවන්කම තිබුණත්, එදා අර පාප්ප ගාලා, අතින් හදපු සුදු පාට වෙසක් කූඩුවේ තිබුණු ආලෝකය අද මේ එක බල්බ් වැලකවත් නැහැ වගේ දැනෙන්නේ ඒකයි.
අපිටත් හොරෙන්ම කාලය අපෙන් උදුරගත්තු ඒ සුන්දර අතීතය... ආයෙමත් කවදාවත් හැරිලා එන්නේ නැති බව දැන දැනත්, මේ වෙසක් හඳ පායද්දී හිත ඉල්ලන්නෙම ඒ ඉස්කෝලේ පන්තිය ඇතුළේ අපි බෙදාගත්තු අපේම වෙසක් මතකය විතරමයි...