තමන්ගේ රැකවරණය යටතේ සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් කියන්නේ "ලේ නෑකමක් නැති වුණත් තමන්ගේම පියෙක් වැනි උත්තමයෙක්" කියා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූ වීර විදුහල්පතිවරයෙකු පිළිබඳ අතිශය ශෝකජනක පුවතක් ඊයේ (25) සවස කිරින්ද මුහුදු තීරයෙන් වාර්තා වුණා.
තමන්ගේම පාසලේ දියණියකගේ ජීවිතය මාරයාගෙන් උදුරාගෙන, ඒ වෙනුවෙන් තමන්ගේම ජීවිතය පූජා කළ ඒ උතුම් මිනිසා, බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයායි.
සිද්ධිය සැකෙවින් මෙසේය. බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක දරුවන් සහ ගුරුවරුන් පිරිසක් එකතු වී ඊයේ දින අධ්‍යාපන චාරිකාවක් ගොස් තිබුණා. චාරිකාව අතරතුර කිරින්ද මුහුදු තීරයේදී 14 හැවිරිදි පාසල් සිසුවියක දිය නෑමට ගොස් තිබෙනවා.
නමුත් අවාසනාවකට මෙන් ඇය ක්ෂණිකව දරුණු දියවැලකට හසුවී මුහුද දෙසට ගසාගෙන යන්නට පටන් ගෙන තිබෙන්නේ අවට සිටි සැවොම මරණ බියෙන් කෑගසද්දීය.තමන්ගේ දරුවෙකු වැනි සිසුවිය මාරයා වැළඳගන්නට යන අයුරු දුටු මේ ආදර්ශමත් විදුහල්පතිතුමා, තමන්ගේ ජීවිතය ගැන තත්පරයක්වත් සිතා නැහැ. ඇයව බේරාගැනීමේ ඒකායන අරමුණින් ඔහු වහාම රළු මුහුදු රළ අතරට පැන තිබෙනවා.
එහිදී සිසුවියව බේරාගැනීමට ඔහුට හැකි වුවත්, විදුහල්පතිතුමා සහ සිසුවිය යන දෙදෙනාම දරුණු දියවැලට හසුවී තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන දෙදෙනාවම ගොඩට ගෙන වහාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.
රෝහලෙන් වාර්තා වූයේ මුළු රටම කම්පා කළ අමිහිරි පුවතකි. 14 හැවිරිදි සිසුවියගේ ජීවිතය බේරී ඇය මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවුවත්, ඇයව බේරාගත් පිළිමල, අළුපොත, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි ඒ ආදරණීය විදුහල්පතිතුමා රෝහලේදී අවසන් හුස්ම හෙළා තිබෙනවා.
අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ ඒ වීරත්වයට සමස්ත ලංකාවාසී අපගේ ප්‍රණාමය හිමිවිය යුතුමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ උතුම් මිනිසෙකි තාත්තේ...!
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ පීඩන අවපාතයන් හේතුවෙන් මුහුද මෙන්ම ගංගාවල් ද ඉතාමත් රළු සහ අනතුරුදායක මට්ටමක පවතිනවා. එම නිසා විනෝද චාරිකා යන විට මුහුදේ හෝ ගංගාවල දිය නෑමට යාමේදී මීට වඩා සිය දහස් වාරයක් ප්‍රවේශම් වන්න. ඔබ ගන්නා එකම එක වැරදි තීරණයකින් තවත් වටිනා ජීවිත රැසක් සදාකාලිකවම අනාථ විය හැකියි.