හැබැයි ඒ යුද්ධයෙන් රට බේරගන්න තමන්ගේ තාරුණ්‍යය, තමන්ගේ පවුල, තමන්ගේ ලේ කිරිසප්පයා දාලා ගිය වීරෝදාර රණවිරුවන්ගේ පවුල් අදටත් විඳවන වේදනාව, ඒ මතකයන් කෙතරම් අතිශය සංවේදීද කියලා පෙන්වන අපූරු සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් වගේ පැතිර යනවා.
මේ සටහන ලියලා තියෙන්නේ යුද්ධයෙන් මියගිය එක්තරා වීරෝදාර පියෙකුගේ ආදරණීය දියණියක්. ඈ ලියපු ඒ හැඟීම්බර වචන පෙළ කියවන ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට නොදනිම කඳුළු උනන එක නම් නවත්තන්න බැහැ.
"මිනිස්සු ගොඩක් මහ හයියෙන් හිනාවෙද්දින් මම එතන හයියෙන් ඇඬුවා..."
යුද්ධය ඉවර වෙන්න මාස එකහමාරකට විතර කලින්, "මම හෙට නිවාඩුවට ගෙදර එනවා" කියපු ඒ ආදරණීය තාත්තා ආපහු ගෙදර ආවේ පණ පිටින් නෙවෙයි. තමන්ගේ ආදරණීය දෝණිට මූණවත් බලාගන්න බැරි වෙන්න සීල් කරපු මිනී පෙට්ටියක. අවුරුදු 6ක තනි චූටි ගෑණු ළමයෙක්ව, තනියම හයිය අම්මෙක්ට බාර දීලා ඒ තාත්තා රට වෙනුවෙන් තමන්ගේ ජීවිතයම පූජා කරලා තිබුණා.
"අපි තුන් දෙනා එක ළඟ දවස් 100 ක් වත් ඉන්න නැතිව ඇති. ඒකයි අපි එකට ගත්තු පොටෝ එකක්වත් නැත්තේ..."
අදටත් ඒ තාත්තාව මතක් වෙන වාරයක් පාසා තමන්ගේ හුස්ම පවා නවතිනවා වගේ දැනෙනවා කියලා මේ දියණිය පවසනවා. හැබැයි රටක් වෙනුවෙන් තමන්ව දාලා ගියාට ඈ තාත්තා එක්ක කේන්ති අරන් නැහැ. මිනිස්සු "ඔයාගේ තාත්තා හරිම හොඳ මනුස්සයෙක්" කියලා කියද්දී "මම ඒ වීරයාගේ දුව" කියලා කියන්න ඇයට දැනෙන්නේ මහා මෙරක් වැනි ආඩම්බරයක්.
"හීනෙන්වත් ඇවිත් මාව බදාගන්න තාත්තේ... ඉන්න තැනක සුවසේ නිදන්න මගේ රත්තරන් තාත්තා..." කියලා ඇය තැබූ ඒ සටහන, යුද්ධයේ සාපයට වන්දි ගෙවූ දහස් ගණනක් දරුවන්ගේ සැබෑ ආත්ම ප්‍රකාශනයක් නේද?
සමාජ මාධ්‍යයෙන්