බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.
ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
ජනපතිවරයාගේ එම වෙසක් දින පණිවුඩය පහතින්,
''සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමග එක්ව මෙම උතුම් තෙමගුල බැතියෙන් සමරති.
බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.
එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි. පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.
එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ. වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ. ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.
අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා'යි ශුභාශිංසනය කරමි.''
එසේම, අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ, වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
අග්‍රාමාත්‍යවරියගේ එම වෙසක් දින පණිවුඩය පහතින්,
''බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.
බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතුය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසලයන් දුරුකරමින්, සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත්කර ගනිමු.
“අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තේමාව කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නකි. පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතුය.
අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් මහෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.
රජය සහ බුදු දහම අතර පවතින ගැඹුරු බැඳීම තුළින්, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකිය. කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණය ඉටුවන, "සියලු සත්වයෝ සුවපත් වෙත්වා" යන උදාර සංකල්පය මත පිහිටා රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.
අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස මම ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රතිපත්තිගරුක සමාජයක් උදෙසා එක්ව පෙරට යමු! සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!''
මේ අතර විපක්ෂනායක පැවසුවේ, ධම්මපදයෙන් පෙන්වා දී ඇති පරිදි ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ, වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
විපක්ෂ නායකවරයාගේ එම වෙසක් දින පණිවුඩය පහතින්,
''මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණකි. ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එබැවින් ධම්මපදයෙන් පෙන්වා දී ඇති පරිදි ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගත යුතුය.
ශ්‍රී ලංකාවාසී ලෝවාසී ජනතාවට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවා !!''