රාජකාරිය නිමවී නිවස බලා යමින් සිටි, දරු බලාපොරොත්තුවෙන් පසු වූ තරුණ ගැබිණි ග්‍රාම නිලධාරීවරියක් සති එකහමාරකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිට අවසානයේ මෙලොව හැර ගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුරයේ පදිංචිව සිටි 32 හැවිරිදි ආර්. එම්. භාග්‍යා නිළුපුලී වඩුගොඩපිටිය නැමැති ගැබිණි කාන්තාවයි. ඇය මහබුලංකුලම (283 තුලාන) ග්‍රාම නිලධාරීවරිය ලෙස ජනතාවට ඉමහත් සේවයක් කළ නිලධාරිනියක්.
ඉකුත් 18 වැනිදා කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට ඇය තවත් කාන්තාවක් සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි සැහැල්ලු ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ දරුණු ලෙස ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර දින කිහිපයක් පුරා ප්‍රතිකාර ලබා දුන්නත්, ඇය අවසන් හුස්ම හෙළා තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇය ජීවිතක්ෂයට පත්වීමට පෙර, ඇගේ කුස තුළ සිටි බිළිඳා ද අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.
මෙම බිහිසුණු අනතුර සිදුකළ සැහැල්ලු ලොරි රථයේ රියදුරු වන මිහින්තලා පාර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකුව කවරක්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අහිංසක මවකගේ සහ නූපන් දරුවෙකුගේ ජීවිත බිලිගත් මේ අනතුර මුළු අනුරාධපුරයම කඳුළින් තෙත් කර තිබෙනවා.