හැබැයි ඒ හැම කතාවක් අස්සේම, තමන්ගේ ජීවිතය ගැන විතරක් නොසිතා, තවත් මනුස්සයෙකුගේ ජීවිතයක් බේරගන්න තත්පර ගාණකදී ගත්ත තීරණයක් ගැන කියවෙන ඇඟ කිලිපොලා යන පුවතක් මේ වෙනකොට සමාජ මාධ්ය පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
පාරේ ගිය ත්රීවීල් රථ රියදුරෙකුගේ ක්ෂණික බුද්ධිය සහ කෑගැසීම නිසා, වන අලියෙකුට මැදිවී පණපිටින් බේරුණු බයිසිකල්කරුවෙකුගේ අපූරු සිදුවීමක් මෙලෙස වාර්තා වනවා.
සිද්ධිය පෙළගැසෙන්නේ මේ ආකාරයටයි. පාළු මාර්ගයක සාමාන්ය පරිදි ධාවනය වෙමින් තිබූ ත්රීවීල් රථයකට ඉදිරියෙන් වන අලියෙකු එකවරම මාර්ගයට පිවිසෙනවා. අලියා දැකපු සැනින් කලබල නොවූ වීල් රථ රියදුරා, ක්ෂණිකව ක්රියාත්මක වී තමන්ගේ රථය ආපසු හරවාගෙන වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබෙනවා.
නමුත් ඒ මොහොතේම ඒ දෙසටම පාපැදියකින් (බයිසිකලයකින්) පැමිණෙන තවත් සාමාන්ය මනුස්සයෙක් ත්රීවීල් රථ රියදුරාගේ ඇස ගැටෙනවා.
තමන් බේරී පලා යන ගමන්, ඉදිරියෙන් එන බයිසිකල්කරුට මොනවා වුණත් මට මොකද කියා සිතන්නට ඒ වීල් රථ රියදුරා කටයුතු කළේ නැත. ඔහු බයිසිකලය අසලින් තමන්ගේ රථය ධාවනය කරනවාත් සමඟම, මර ලතෝනියෙන් මෙන් "ඉස්සරහට යන්න එපා... අලියෙක් එනවා... ආපහු හරවන්න...!" කියා තිබෙනවා.
වීල් රථ රියදුරාගේ ඒ බියකරු කෑගැසීමත්, වන අලියා පාරට පැමිණීමත් සිදු වූයේ එකම තත්පරයේදීය. වාසනාවකට මෙන් ඒ හඬ ඇසුණු සැනින් ක්රියාත්මක වූ බයිසිකල්කරු, වහාම තමන්ගේ බයිසිකලය ආපසු හරවාගෙන දිව යන්නේ තත්පර කිහිපයකින් තමන්ගේ ජීවිතය මාරයාගෙන් බේරාගනිමිනි.
සමාජ මාධ්ය ඇසුරෙන්