12 දෙනෙකුට මරු කැඳවූ මේ ගිනි ජාලාව හුදෙක් අනතුරක්ම නොව, දැඩි නොසැලකිල්ල සහ සාහසිකත්වය නිසා සිදු වූ සමූල ඝාතනයක් බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය පවසා ඇත්තේ මෙම නිවාසයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බින්දුවට වැටී තිබූ බවයි. නිවසේ ඉදිරිපස සහ පිටුපස දොරවල්වලට යකඩ පටි සවිකර තිබූ අතර, ගින්න හටගන්නා අවස්ථාවේදී ඒවා පිටතින් අගුළු දමා තිබීලා තියෙනවා.
ගින්නෙන් බේරීමට එහි සිටි අසරණ වැඩිහිටියන් දැඩි වෙහෙසක් ගෙන ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. නමුත් දොරවල් අගුළු දමා තිබීම නිසා පිටතට යා නොහැකිව අඟුරු වී ගිය මළ සිරුරවල් 6ක්ම හමු වී ඇත්තේ නිවසේ ඉදිරිපස දොරටුව අසල වැතිර තිබියදීයි.
සියල්ලටම වඩා සංවේදී ම සිදුවීම වන්නේ, දම්වැලකින් බැඳ දමා තිබූ පුද්ගල මළ සිරුරක් නිවසේ ජනේලයක් අසල තිබී පොලිසිය විසින් සොයාගැනීමයි. තමන්ව බේරාගන්න කියා කෑගසන්නටවත් නොහැකිව, දම්වැලට හසු වී ඒ අසරණයා ජනේලය අසලම දැවී අළු වී ගොස් තිබෙනවා.
හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්නට අවශ්‍ය එකම එක ගිනි නිවන උපකරණයක්වත් ඒ මාරක නිවස තුළ තිබීලා නෑ...
මෙම ආයතනය සම්බන්ධයෙන් කරුණු සෙවීමේදී තවත් ලොකුම හොරයක් එළියට පැමිණ තිබෙනවා. මෙවැනි ආබාධිතයන් රඳවන ස්ථානයක් පවත්වාගෙන යාමේදී "ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ" ලියාපදිංචි විය යුතු වුවත්, එහි අධ්‍යක්ෂ ජයමාලි වික්‍රමආරච්චි මහත්මිය පවසන්නේ මෙවැනි ස්ථානයක් ගැන ඔවුන් කිසිවක් නොදන්නා අතර මෙය ලියාපදිංචි කර නොමැති බවයි.
එපමණක් නොව, මෙම සෙනෙහසේ කැදැල්ල නිවාසය අයත් වන මිල්ලෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද මෙය ලියාපදිංචි කර නැත. තමන් අවස්ථා රැසකදීම මෙය ලියාපදිංචි කරන ලෙස උපදෙස් දුන්නත්, මෙහි අධ්‍යක්ෂවරයා (ඉසුරු හෙවත් ලොකු අයියා) එම උපදෙස් කුණු කූඩයට දමා ඇති බව මිල්ලෙණිය ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.
මේ අතර, මෙතරම් විනාශයක් සිදු කළ ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයේදී අමුතුම කතාවක් කියා තිබෙනවා. ඔවුන් පවසන්නේ සමාජ සේවා, පොලිස්, ප්‍රාදේශීය ලේකම් සහ සෞඛ්‍ය නිලධාරීන් නිතරම මෙතැනට පැමිණ ලොග් සටහන් තබා ඇති බවත්, එහි කොතැනකවත් මෙය වසා දමන ලෙස සටහන් කර නැති බවත්ය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම මහා ඛේදවාචකයට වගකිව යුතු හිමිකරුවාව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඊයේ පස්වරුවේ ඇති වූ මෙම බිහිසුණු ගින්නෙන් අහිංසක ජීවිත 12ක් අහිමි වූ අතර, තුවාල ලැබූ තවත් 6 දෙනෙකු හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ දැඩි සත්කාර මැද ප්‍රතිකාර ලබනවා. ගින්නට මැදිව සිටියදී යන්තම් පණ බේරාගත් 51 දෙනෙකු මේ වන විට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.