හැබැයි ඔන්න දැන් මේ හැමදේම උඩුයටිකුරු කරන්න සුපිරි ප්ලෑනක් ලෑස්ති කරලා තියෙනවා. ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා අරන් යන්න නම් මුලින්ම රාජ්‍ය සේවය ඩිජිටල් කරන්න ඕන කියන තීරණයට රජය ඇවිත් තියෙනවා.
ඒ වෙනුවෙන් වුණු විශේෂ සාකච්ඡාවක් පහුගිය (03) වෙනිදා පැවැත්වුණේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අලුත් වැඩපිළිවෙළ යටතේ හැමෝම කතාබහ වෙන සුපිරිම තීරණයක් අරන් තියෙනවා. ඒ තමයි, ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් ලබාගන්න නම් මේ ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් කරන්න සාකච්ඡා කරලා තියෙන එක. ඒ විතරක් නෙවෙයි, ඉස්සරහට රාජ්‍ය සේවයට අලුතින් බැඳෙන අයටත් ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය වෙනවලු!
ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්න සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තාක්ෂණය කිව්වම පොඩි බයක්, චකිතයක් තියෙනවානේ. ඔන්න ඒ බය නැති කරන්න, ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන්ට ෆෝන් එකෙන්ම බලන්න පුළුවන් කෙටි වීඩියෝ (Micro-learning) හරහා පාඩම් මාලා හඳුන්වා දෙන්නත්, ඊ-ඉගෙනුම් පද්ධතියක් (E-learning) හදන්නත් යෝජනා වෙලා තියෙනවා. සයිබර් ආරක්ෂාව (Cyber Security) වගේම ඔෆිස් එකේ ඊමේල් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මුලින්ම ප්‍රායෝගික පුහුණුව දෙන්නේ.
මේ පුහුණු වැඩකටයුතු කරන්න වෙනම සල්ලි නාස්ති කරන්නේ නැතුව, හවස් වරුවේදී පාසල් සහ කාර්යාල වල තියෙන පරිගණක විද්‍යාගාර මේ සඳහා යොදාගන්නත් මෙතැනදී එකඟතාවය පළවෙලා තියෙනවා. සෙල්ලම් කරමින් ඉගෙන ගන්න පුළුවන් Gamification ක්‍රමවේද සහ ඩිජිටල් අත්සන් (Digital Signatures) සහිත සහතිකත් මේ හරහා නිලධාරීන්ට ලැබෙන්න නියමිතයි.
කොහොම වුණත් පුද්ගලයන් මත වැඩ කෙරෙන එක නතර කරලා, සිස්ටම් (Systems) හරහා වැඩ කෙරෙන නවීන ලංකාවක් හදන්න ගහපු මේ ප්ලෑන ඇත්තටම සාර්ථක වුණොත්, මහජනතාවට රස්තියාදු නොවී වැඩ කරගන්න ලැබෙන එක නම් සක්සුදක් සේ පැහැදිලියි!