ඔන්න ඒ වගේ මුළු ලෝකෙම පක්ෂි පර්යේෂකයින්ව හොල්මන් කරපු, අවුරුදු 100කට විතර පස්සේ "සියවසකට වරක්" විතරක් දැකගන්න ලැබෙන අතිශය දුර්ලභ කුරුල්ලෙක් ඉන්දුනීසියාවේ කඳුකර වනාන්තරයකින් මතු වෙලා තියෙනවා.
මේ කුරුල්ලා තමයි 'බ්ලූ-ෆ්‍රන්ටඩ් ලොරිකීට්' (Blue-fronted Lorikeet) එහෙමත් නැත්නම් නිල් පැහැති නළලක් සහිත ගිරවා. ලෝකයේ වෙන කිසිම තැනක නැති, ඉන්දුනීසියාවේ බුරු (Buru) දූපතට විතරක් ආවේණික මේ ගිරවා ලෝකයෙන් සදහටම වඳ වෙලා ගිහින් කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. මොකද 1920 ගණන්වලට පස්සේ වසර 90ක් තිස්සේ මුන් ගැන කිසිම තොරතුරක් තිබිලා නැහැ. 2014 දී එකම එක ෆොටෝ එකකට විතරක් අහම්බෙන් අහුවුණත්, ඒකත් හැබෑවක්ද කියලා කාටවත් විශ්වාසයක් තිබුණේ නැහැ.
පර්යේෂකයෝ මෙච්චර කාලයක් මේ ගිරවාව හෙව්වේ පහත් බිම් වල වනාන්තර වලයි. හැබැයි මුන් හැංගිලා ඉඳලා තියෙන්නේ මිනිස්සුන්ට ළඟාවෙන්න බැරි, අතිශය දුෂ්කර උස් කඳු මුදුනක. පහුගිය අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියානු කඳු නැගීමේ කණ්ඩායමක් විසින් කරපු දරුණු ගවේෂණයකදී තමයි මේ දීප්තිමත් කොළ පැහැති පිහාටු තියෙන වර්ණවත් ගිරවාව දකින්න ලැබිලා තියෙන්නේ.
තියුණු හුණුගල් පර්වත, දෂ්ට කරන කෘමීන්, වේගයෙන් ගලා යන ගංගා සහ කිසිදු අඩිපාරක් නැති මහා වනාන්තර මැදින් දින ගණනාවක් තිස්සේ ජිවිතය පරදුවට තියලා කරපු මේ මෙහෙයුම ඇත්තටම පිස්සුවක් වගේ වැඩක්!
"එක්කෝ ඌ මාර ශක්තිමත් වෙන්න ඕනේ, නැත්නම් පිස්සෙක් වෙන්න ඕනේ!"මේ සුපිරි ගවේෂණයට එකතු වුණු ප්‍රසිද්ධ පක්ෂි නිරීක්ෂකයෙක් වන ජේම්ස් ඊටන් (James Eaton) මේ අත්දැකීම ගැන අපූරු කතාවක් කියනවා.
"මේ වගේ වර්ෂාව, තියුණු හුණුගල්, වේගයෙන් ගලායන ගංගා මැදින් කිසිදු අඩිපාරක් නැති කඳු මුදුනකට යන්න හදන ඕනෑම අයෙකුට 'ඉතා ශක්තිමත් නැතහොත් පිස්සු හේතුවක්' තිබිය යුතුමයි. හැබැයි මේ කුරුල්ලා තමයි අපිට තිබුණු ඒ එකම හේතුව..."
ඔහු පවසන්නේ මේ දසුන දකින්න ඔහු වසර ගණනාවක් තිස්සේ සූදානම් වුණු බවයි. 2024 වසරේදී ගෝලීය පක්ෂි සංවිධාන විසින් මේ ගිරවාව "අහිමි වූ විශේෂයක්" (Lost Species) විදිහට නිල වශයෙන් නම් කරලා තිබුණේ උන් ගැන කිසිම දත්තයක් නැති නිසා.
ජේම්ස් පවසන විදිහට, මේ නැවත සොයා ගැනීමෙන් ඔප්පු වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇසට නොපෙනී, තවමත් මේ ලෝකය ඇතුළේ කෙතරම් සුන්දර අභිරහස් සහ පුදුමයන් සැඟවිලා තියෙනවාද කියන එකයි. ඇත්තටම මේක නම් සොබාදහමේ සිරාවටම පට්ටම හාස්කමක්!