මේ කියන්න යන්නේ තමන්ගේ මව්පියන් විඳපු දුක දන්න, රටක් වටිනා උදාර පුතෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් කරපු සුවිශේෂී කැපකිරීමක් ගැනයි.
සමාජ මාධ්‍ය හරහා පල වන වීඩියෝවක ඔහු කියන්නේ මේ වගේ දෙයක්.
"මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මයි තාත්තයි මැටි ගඩොල් කැපුවේ. එක ගඩොලකට හම්බවෙන්නේ රුපියල් 2.50 යි. අම්මා දවසට රුපියල් 1000ක් හොයන්න නම් ගඩොල් 400ක් කපන්න ඕනේ. අපි ඉස්කෝලේ ගිහින් එද්දී අම්මයි තාත්තයි අනුන්ගේ ඉඩමක ගඩොල් කපනවා. ඒවායින් තමයි අපිට කන්න බොන්න දුන්නේ..."
තමන්ගේ මව්පියන් අනුන්ගේ ඉඩම්වල මඩ නාගනිමින්, අව්වේ වේලෙමින් තමන්ව ජීවත් කරවන්න විඳපු ඒ අප්‍රමාණ දුක නුවන්ට කවදාවත් අමතක වෙලා තිබුණේ නැහැ.
තමන්ගේ පවුලේ ආර්ථිකය ගොඩනඟන්න හිතාගෙන නුවන් 2022 වර්ෂයේදී දකුණු කොරියාව බලා පිටත්ව යනවා. එහිදී දැඩි කැපවීමෙන් සහ මහන්සියෙන් වැඩ කරන ඔහු, 2023 වර්ෂය වෙද්දී තමන්ගේ ජීවිතයේ ලොකුම හීනයක් සැබෑ කරගන්න සමත් වෙනවා.
ඒ වෙන මොකක්වත් නෙවෙයි, එදා තමන්ගේ අම්මයි තාත්තයි රුපියල් 2.50 ගානේ දහඩිය හලමින් අනුන් වෙනුවෙන් ගඩොල් කපපු, ලක්ෂ 40ක් විතර වටිනා ඒ ඉඩමම සල්ලිවලට මිලදී ගැනීමයි.
විදෙස්ගත වෙලා හම්බ කරපු සල්ලිවලින් තමන්ගේ අම්මා එදා කුලී වැඩ කරපු ඒ ඉඩමම මිලදී ගත්තු නුවන්, එහි අයිතිය (ඔප්පුව) ලියා තියෙන්නේ තමන්ගේ ආදරණීය අම්මාගේ නමටමයි.
තමන් උපන් දේශයේ, තමන්ගේම මව්පියන් දහඩිය මහන්සියෙන් තමන්ව හැදූ වැඩූ ඒ බිම් කඩ, අද ඔවුන්ගේම කර දීමට තරම් මේ පුතා නිහතමානී මෙන්ම වාසනාවන්ත වී තිබෙනවා.