තෙල්දෙණිය පොලිස් අධිකාරී කොට්ඨාශයේ රංගල පොලිස් වසමේ උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇඟුළුම් සේවිකාවක් ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබියදී , රංගල පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් , වළ දමා තිබූ එම අභිරහස් කාන්තා මළ සිරුර ,මහේස්ත්‍රාත් නියෝග මත ගොඩගනු (02 වන දින) ලැබුණා.
මෙලෙස ගොඩගත් කාන්තා මළ සිරුර උඩිස්පත්තුව හක්මන පදිංචි වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නැමති 22 හැවිරිදි තරුණියගේබව රංගල පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.
තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළ සිරුර හමුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය පවත්වා ,මළ සිරුර සම්බන්ධව වැඩි දුර පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ,තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී උපුලී බණ්ඩාර මහත්මිය මගින් සිදුකර ,අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රංගල පොලිස් ස්ථානාධිපති වරයාට නියෝග කළා.
මියගිය ඇඟළුම් සේවිකාවගේ මළ සිරුර ඇගේ නිවසට ආසන්න ස්ථානයක වගුරු බිමක වළ දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් තරුණිය සමග සමීප හාදකමක් පවත්වාගෙන ගිය උඩිස්පත්තුව, හක්මන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා රංගල පොලීසියට අවශ්‍ය වී ඇතත්, එම පුද්ගලයා මේ වන විට ප්‍රදේශය හැර පළා ගොස් ඇති බව රංගල පොලීසිය පවසනවා.
මෙම අභිරහස් ඝාතනය පිළිබඳව පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන සැකකරුගේ මවගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදීය.
මෙම තරුණිය අතුරුදන්වි ඇතැයි මව හා පුත්‍රයා විසින් පොලිසියට පැමිනිල්ලක්ද කර තිබුණා.