තමන්ගේම කුසින් උපන් මාස දෙකහමාරක් වයසැති කිරිකැටි බිළිඳියව ළිඳට වීසි කළ අනුකම්පාවක් නැති මවක් පිළිබඳවයි මේ තොරතුරු වාර්තා වෙන්නේ.
ඇල්පිටිය, කහදූව, තුඩුවෙගොඩ ප්‍රදේශයේදී සිදු වූ මෙම සිදුවීමත් සමඟ අදාළ සැකකාර මවව අද (02) දින ඇල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන අන්දමට, මෙම සැකකාර මව තමන්ගේ බිළිඳියව ළිඳට දමා, අනතුරුව "මම දියණිය ළිඳට දැම්මා" යැයි පවසමින් මහා හඬින් කෑගසා තිබෙනවා. ඇයගේ කෑගැසීම ඇසී වහාම ක්‍රියාත්මක වූ ඇයගේ සැමියා (දරුවාගේ පියා) දිව ගොස් බලන විට දියණිය ළිඳ තුළ පාවෙමින් සිටිනු දැක තිබෙනවා.
තම ලේ කිරි කර දුන් මව අතින්ම ළිඳ පතුලට ගිය ඒ අහිංසක කිරිකැටියාව පියා විසින් වහාම ක්‍රියාත්මක වී ළිඳෙන් ගොඩට ගෙන තිබුණේ අසල්වාසීන්ගේද සහයෝගය ඇතිවයි.
ළිඳට වැටුණු බිළිඳියව වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, මේ නිසාම එම කිරිකැටියාගේ ජීවිතය අනූනමයෙන් බේරී තිබෙනවා.
පොලීසිය පවසන්නේ බිළිඳිය දැමූ ළිඳ සාපේක්ෂව නොගැඹුරු එකක් වීම නිසාම ඇයව ඉක්මනින් බේරාගැනීමට හැකි වූ බවයි. වාසනාවකට මෙන් බිළිඳියගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග සහ පොලීසිය තහවුරු කරනවා.
මේ පිළිබඳව ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරගෙන යනු ලබනවා.
ලංකාදීප පුවත්පත ඇසුරෙන්