මේ නිවාසය පාලනය වුණේ ඇත්තටම මේ කියන විදිහටද..? ඇසූවන්ගේ ඇස් මවිත කරන පුවතක් මේ වෙනකොට සමාජමාධ්‍ය වෙලාගෙන.. කොහොමවුණත් මේ ශෝකජනක පුවත පසුපස සැඟවුණු අබිරහස සොයන්න තවමත් පොලිසිය වෙහෙසෙනවා.
මෙම සිද්ධියෙන් මියගිය 25 හැවිරිදි තරුණියක් වන ධනුෂ්කි ශශී බබාගේ ඥාතියකු පැවසුවේ ටිකක් වෙනස් විදිහක කතාවක්. ඒ කතාව මේ වෙනකොට බෝහො දෙනාගේ අවදානයට ලක්වෙලා.
"අපි අම්බලන්ගොඩ. facebook එකේ තියෙනවා දැකලා තමයි අපේ අක්කගේ දුවව මෙහාට බාර දුන්නෙ. අක්කා රට ගිය හින්දා. මාසෙට තිස්පන්දාහක් අපි ගෙවනවා මෙහාට. අමතරව බෙහෙත් ගන්න කියලා කියන කියන වෙලාවට විසි තිස් දාහක් කියන කියන ගණන් දෙන්න ඕනෑ. අපි එයාව බලන්න එනවා නම් එයාලට කළින් දැනුම් දීලා අවසර අරන් එන්න ඕනෑ. එතකොට හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙනවා. නැත්නම් අනිත් දවසට කිසි පිරිසිදුකමක් නෑ. දංවැල් දාලා බැඳලා තියනවා. මේගොල්ලෝ කරන්නෙ බැරි අයව පැත්තකටම දාලා තියලා ටිකක් කතාබහ කරන්න ඇවිදින්න පුළුවන් අයව එළියට අරගෙන වීඩියෝ කර කර ෆේස්බුක් දාලා හම්බ කරන එකයි.”
සිද්ධිය වෙන අවස්ථාවේ මෙම ආයතනයේ පාලකයන් නොසිටි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් ඇති දෙමහල් නිවෙසක ඔවුන් රැදී සිටින බවයි.
මීට අමතරව වෛද්‍යවරයෙක්, හෙදියක්, ගිලන් රථයක් ඇතුළු මානසික රෝගීන්ට රැකවරණය ලබාදෙන මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කිසිදු පහසුකමක් මෙම ආයතනය තුළ නොමැති බවද ප්‍රදේශවාසීන් පවසන්නේ දැඩි කෝපයෙන්.
කෙසේ වෙතත් ගිනිගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව ආරක්ෂක අංශ පවසයි. මෙම නිවාසයේ සිටි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එක් වැඩිහිටි කාන්තාවක් වෙනම කුටියක රඳවාගෙන මේ වන විට ඇඟෙන් සිද්ධිය පිළිබඳ කට උත්තර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.
මේ වන විට මේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති ඥාතීන් අදාළ පාලනාධිකාරියේ නිලධාරීන් සමග තර්ක කරමින් සිටින්නේ තමන්ගේ තමන්ගේ ඥාති සහෝදරයා දියණිය මිය ගියාද නැද්ද නිශ්චිතව තහවුරු කර ගැනීමක් සිදු කර නොමැති බැවින්.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර මළ සිරුරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළා.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළ අතර පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්,රස පරීක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනවා.