බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaires Index) අනුව, ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩෑන්ස් (ByteDance) සමාගමේ නිර්මාතෘ ෂෑං යිමින් (Zhang Yiming), ඉන්දීය ව්‍යාපාරික දැවැන්තයෙකු වන මුකේෂ් අම්බානිව අභිබවා ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා බවට පත්ව තිබෙනවා.
ෂෑංගේ ශුද්ධ වත්කම ඇස්තමේන්තුගත අමෙරිකානු ඩොලර් බිලියන 92.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අනුව ඔහු පසුවන්නේ, ඩොලර් බිලියන 97.9ක පමණ වත්කමකට හිමිකම් කියමින් තවදුරටත් ආසියාවේ අංක එකේ ධනවතා ලෙස රැඳී සිටින ඉන්දීය බිලියනපති ගෞතම් අදානිට පමණක් පිටුපසින්.
මුකේෂ් අම්බානි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 86.9ක ශුද්ධ වත්කමක් සහිතව තෙවැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
ෂෑංගේ වත්කම් මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ බයිට්ඩෑන්ස් (ByteDance) සමාගමේ වටිනාකම ඉහළ යාමයි.
ටික්ටොක්හි අඛණ්ඩ ගෝලීය සාර්ථකත්වය මෙන්ම, චීනය තුළ පමණක් මාසිකව මිලියන 300කට අධික පරිශීලකයින් පිරිසක් ආකර්ෂණය කරගෙන ඇති ‘ඩූබෝ’ (Doubao) චැට්බොට් ඇතුළු එම සමාගමේ කෘතිම බුද්ධි (AI) ව්‍යාපෘතිවල ශීඝ්‍ර වර්ධනය ද මීට දායක වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
බ්ලූම්බර්ග් වාර්තා කළේ, බයිට්ඩෑන්ස් සමාගමේ අමෙරිකානු මෙහෙයුම්වල සිදුවූ වර්ධනයන් සහ ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ යාම මත පදනම්ව එහි වටිනාකම මෑතකදී නැවත තක්සේරු කිරීමත් සමග, ෂෑංගේ වත්කමට තවත් අමෙරිකානු ඩොලර් බිලියන 24කට වඩා එකතු වූ බවයි.
2012 වසරේදී බයිට්ඩෑන්ස් සමාගම ආරම්භ කළ ෂෑං, මේ වනවිටත් චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා වන අතර, 2019 වසරේ සිට බ්ලූම්බර්ග් ආයතනය ඔහුගේ වත්කම් නිරීක්ෂණය කිරීමට පටන් ගත් දා සිට මේ දක්වා ඔහුගේ ධනය හත් ගුණයකට වඩා වැඩි වී ඇති බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.