ඒත් මේ චීනයෙන් අන්න ඒ ගැන ඇසෙන විශේෂ පුවතයි..
චීනයේ හෙනන් ප්‍රාන්තයේ පිහිටි ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලාවක් තමන්ගේ සේවකයින්ට වාර්ෂික බෝනස් (දීමනා) ලබාදීම සඳහා අපූරු මෙන්ම කාගෙත් සිත් ඇදගන්නාසුලු ක්‍රමයක් භාවිත කර තිබෙනවා.
"Henan Mining Crane Co., Ltd." නැමැති මෙම දොඹකර නිෂ්පාදන සමාගම, පසුගිය වසරේ ලැබූ වාර්තාගත විකුණුම් ආදායම සැමරීම වෙනුවෙන් මෙලෙස චීන යුවාන් මිලියන 60ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11ක් පමණ) සේවකයන් අතරේ බෙදා දී ඇත්තේ ලෝකයම මවිත කරවමිනුයි.
සමාගම විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී මෙම මුදල් කන්දරාව විශාල මේස මත තැන්පත් කර තිබූ අතර, සේවකයින්ට ලබාදී තිබුණේ එකම එක අභියෝගයකි.
එනම් මිනිත්තු 15ක් ඇතුළත තමන්ට නිවැරදිව ගණන් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණයක් තමන් සතු කර ගැනීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ප්‍රසිද්ධ වූ වීඩියෝ දර්ශනවල දැක්වුණේ සේවකයින් ඉතා උනන්දුවෙන් සහ කලබලයෙන් මුදල් නෝට්ටු මිටි ගණන් කරමින් තමන් අසලින් තබා ගන්නා ආකාරයයි. මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර ආරක්ෂක නිලධාරීන් විසින්ද ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවී තිබෙනවා.
මෙහිදී එක් දක්ෂ සේවකයෙකු මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් තුළ යුවාන් 100,000කට අධික මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක්) ගණන් කර තමන් සතු කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා.
මෙම අසාමාන්‍ය තෑගි දීමනාව අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට මෙන්ම විවාදයකටද තුඩු දී තිබෙනවා. බොහෝ පිරිසක් මෙය සේවකයින් දිරිමත් කරන, ඔවුන්ව සතුටට පත් කරන ඉතාම විනෝදජනක සහ අපූරු ක්‍රමයක් ලෙස අගය කර තිබෙනවා.
තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ මෙය සේවකයින් අපහසුතාවයට පත් කරන "සංදර්ශනයක්" (Circus act) පමණක් බවයි. මුදල් මෙලෙස ප්‍රදර්ශනය කරන්නේ නැතිව සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට තිබූ බවත්, මෙම ක්‍රමය සාධාරණත්වයෙන් තොර සහ ආයතනික සදාචාරයට පටහැනි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම සමාගම මෙලෙස දැවැන්ත ලෙස සේවකයින්ට මුදල් තෑගි දුන් පළමු අවස්ථාව මෙය නොවේ. තරුණ පරපුර මුහුණ දෙන නිවාස හා වාහන ණය බර සැහැල්ලු කිරීම වෙනුවෙන් මෙවැනි සැබෑ මුදල් තෑගි (Cold cash) ලබාදීම වඩාත් ප්‍රායෝගික බවයි සමාගමේ ප්‍රධානීන් විශ්වාස කරන්නේ.