මේ ඉන්ධන මිල රොකට් එක වගේ ඉහළ යෑමත් එක්ක දැන් බස් කර්මාන්තය අන්තිම අඩියටම වැටිලා තියෙන්නේ කියලා පෞද්ගලික බස් සංගම් කියනවා.
මේ ප්‍රශ්නයට දෙකෙන් එකක් බේරගන්න හිතාගෙන අද (04) පෙරවරුවේ බස් සංගම් නියෝජිතයෝ රොත්ත පිටින්ම මහාමාර්ග අමාත්‍යාංශයට කඩා වැදුණා!
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යාංශයේ නොසිටි නිසා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා තමයි බස් නායකයෝ එක්ක සාකච්ඡාවට වාඩි වුණේ. මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිද්ධ වුණු මේ සාකච්ඡාවේදී බස් සංගම් තමන්ගේ ඉල්ලීම් ටික දැම්මා.
වැඩිවූ ඩීසල් මිලට සාපේක්ෂව 5%ක අන්තර්වාර බස් ගාස්තු වැඩිවීමක් ලබාදීම.
නැතහොත් බස් රථ සඳහා වෙනම ඉන්ධන සහනාධාරයක් ලබාදීම.
අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මෙහිදී පොරොන්දු වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඇමති බිමල් රත්නායක මහතා සමඟ කඩිනමින්ම නිල සාකච්ඡාවක් සූදානම් කරලා දෙනවා කියලයි.
සාකච්ඡාව ඉවර වෙලා එළියට බැහැපු ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය ඉදිරියේ තමන්ගේ සුපුරුදු ආවේගශීලී ස්වරූපයෙන් අලුත් ඇමතිටයි, බලධාරීන්ටයි දේසනාවක් තෑගි කළා.
ඇය පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්,
"අමාත්‍යවරයෙක් පත් වුණාම එයත් දැනගන්න ඕනේ මේක ඉගෙන ගන්න. එළියට ඇවිල්ලා දන්නැති මගුල් කතා කරලා හරියන්නේ නැහැ. අපි බලනවා හෙට දිනයේ සාකච්ඡාවක් දෙයිද කියලා. මේක නිවැරදි කරගන්න ඕනේ. අපි හෙට ඇමති සමග මේකේ දෙකෙන් එකක් බේරගන්නවා. එහෙම නැති වුණොත් ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා."
ගැමුණු විජේරත්න කියන විදිහට හෙට ඇමති එක්ක තියෙන සාකච්ඡාව සාර්ථක වුණේ නැත්නම්, ලබන සතියේ ඉඳන් ලංකාවේ බස් ධාවනයට මොනවා වෙයිද කියන්න බැහැ. එක්කෝ බස් ගාස්තු වැඩි වෙයි, නැත්නම් බස් ස්ට්‍රයික් එකක් එයි.