ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් කොයි පැත්තට කැරකුණත්, ඉදිරියේදී ලංකාවේ ඉන්ධන මිලේ නම් කිසිම අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සෘජුවම ප්‍රකාශ කරලා තියෙනවා.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව මේ වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පොඩ්ඩක් අඩු වෙලා තිබුණත්, මැදපෙරදිග යුද්ධය පටන් ගන්න කලින් තිබුණු මිලට වඩා තවමත් ජාත්‍යන්තර මිල ගණන් ඉහළ මට්ටමක තියෙන නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.
මිල අඩු නොවුණත් තෙල් හිඟයක් ගැන නම් බය වෙන්න ඕනේ නෑ වගේ. මොකද ඊයේ (28) දිනයේදී බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් WTI බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එළැඹෙන 31 වැනිදා වෙද්දී තවත් මර්බන් වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000ක් අරන් තවත් නෞකාවක් ලංකාවට එන්න නියමිතයි.
මිල වෙනස් වෙන්නේ කොහොමද සහ ඒ පිටුපස තියෙන ඇත්තම තත්ත්වය පැහැදිලි කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා කරපු සම්පූර්ණ ප්‍රකාශය මෙන්න..
"4 වැනි මාසය සහ 3 වැනි මාසය වෙද්දි ලෝක වෙළෙඳපොළේ තිබුණා ඉතාම ඉහළ මිලක්. නමුත් මේ මිල මේ වෙනකොට පහළ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් අපි ගත්තොත් යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළෙඳපොළේ මිල තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නම් නෑ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසයේ... බොහෝ දුරට සැප්තැම්බර් වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වැඩි වීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ. අපි ඒක මේ වෙනකොටත් අධ්‍යනය කරමින් ඉන්නේ. අද හවස් වෙද්දි තමයි ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා සාමාන්‍යයෙන් අපි 31 වැනිදා තමයි මිල ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මෙවර 31 ඉරිදා දිනයක් නිසා. අද හවස වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොහොමද කියලා ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා. නමුත් ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරලා නෑ. සාකච්ඡා වාර කිහිපයක් යන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ අපිට කියන්න බෑ. නමුත් පැහැදිලිවම අඩුවීමක් වෙන්නේ නම් නෑ සමහරවිට මේ ගානටම තියෙනවාද, සුළු වැඩිවීමක් තියෙනවාද කියලා අධ්‍යනය කරන්න ඕනේ. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් වෙන්නේ නැහැ. මොකද මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕනේ නෑ."
ඉතින් මේ අනුව පැහැදිලි වෙන්නේ තෙල් මිල අඩු නොවුණත්, එකපාරටම විශාල මිල වැඩිවීමක් වෙන්නෙත් නැති නිසා ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි!