ලංකාව වටේම මුහුද අද (29) දරුණු විදිහට රළු වෙන්න ඉඩ තියෙනවා කියලයි ආරංචිය.
විශේෂයෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතාමත් රළු වෙන්න පුළුවන්. ඒ පැතිවල හුළඟේ වේගය පැයට කිලෝමීටර 55 - 65ක් තරම් ඉහළ අගයකට යන්න ඉඩ තියෙනවා ලු.
අනෙක් මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි වෙන්න පුළුවන් නිසා ධීවර සහ නාවික ක්ෂේත්‍රයේ අයට දැඩි විමසිල්ලෙන් ඉන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් කරනවා.
මුහුද විතරක් නෙවෙයි, අද දවස පුරාම ගොඩබිම පැත්තටත් වැහි වලාකුළු පා කරගෙන එන ලකුණු තියෙන්නේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටෙන්න පුළුවන්.
ඌව පළාත, අම්පාර සහ මඩකලපුව පැතිවලට නම් හවස් වෙද්දී තමයි වැස්ස කඩා හැලෙන්නේ.
මේ අතරේ හැමෝම බයෙන් හිටපු ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සුබ ආරංචියක් දීලා තියෙනවා. වැස්ස වැටුණාට කිසිම ගංගාවක ජල මට්ටම ගංවතුරක් වෙන තරමට ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නෑලු.
හැබැයි ඉතින් කළු, නිල්වලා, ගිං සහ කැලණි ගංගාවල ඇතැම් තැන්වල ජල මට්ටම තවමත් ටිකක් ඉහළ අගයක පවතින නිසා ඒ අවට ඉන්න අය පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න එක ඇඟට ගුණයි!