කෝන්දෙණිය හන්දිය ආසන්නයේදී මුළු මහත් ජනකායම මොහොතකට ගල්ගස්වමින්, හැමදාමත් අහිංසක ලෙස පෙරහැරේ ගමන් කරන "අර්ජුන හස්තිරාජයා" එකවරම නොසන්සුන් වී කලබල වන්නට පටන් ගත්තා.
ඇතා නොසන්සුන් වෙද්දී, මහා පෙරහැර නරඹන්නට දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව බියෙන් ත්‍රස්ත වී හිස් ලූ ලූ අත දුවන්නට වූයේ දැඩි කලබලකාරී වටපිටාවක් නිර්මාණය කරමින්.
සියල්ලන්ගේම හදවත් නතර කරවමින්, කලබල වූ ඇතා කෙළින්ම දිව ගියේ පාර අයිනේ වාඩි වී සිටි, ඇවිද ගැනීමට පවා නොහැකි අංශභාග රෝගී අසරණ මිනිසෙකු දෙසටයි. ඔහුට එතනින් නැඟිට දිව යාමට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ.
මේ බිහිසුණු දසුන දුටු අවට ගොඩනැඟිලිවල උඩ තට්ටුවල සිටි අම්මලා සහ පුංචි දරුවන් පවා, "අනේ බුදු හාමුදුරුවනේ.. ඒ අහිංසක මනුස්සයව බේරලා දෙන්න..." කියමින් හඬා වැටෙමින්, මහ හයියෙන් කෑගසමින් ප්‍රාර්ථනා කරන්නට වුණා.
මහා වෘක්ෂයක් මෙන් තමන් ඉදිරියට කඩා වදින මරණය හමුවේ, ඒ අසරණ මිනිසා කළේ එකම එක දෙයයි. ඔහු තමන්ගේ වෙව්ලන දෑත් එකතු කර, හිස මුදුනේ තබාගෙන, බුදු ගුණ සිහිපත් කරමින් තමන්ව බේරා දෙන ලෙස ඇතා දෙස බලා වැඳ වැටුණා.
මුළු ලොවම මවිත කරමින් ඊළඟ ක්ෂණයේදී සිදුවූයේ සැබෑම හාස්කමකි.
දෑත් මුදුන් දී වඳින ඒ අසරණයා අසලටම පැමිණි අර්ජුන හස්තියා, කිසිදු පීඩාවක් නොකර එතැනම නතර වුණා. ඉන්පසුව, කිසිවෙකුටත් අදහාගත නොහැකි ලෙස, හරිම ශාන්ත අයුරින් පස්සට පියවර තබා එම අසරණයාගෙන් ඉවත් වී, ඉතාමත් සාමකාමීව එතැනින් නික්ම ගියා.
නොහික්මුණු සතුන් පවා දමනය කරන්නට සමත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණවල සත්‍යතාවය, තවමත් මෙලොව ජීවමානව පවතින බව සපථ කළ සජීවී සාක්ෂියක් ලෙස මේ අපූර්ව සිදුවීම සැදැහැවතුන්ගේ හදවත් තුළ සදාකාලිකවම රැඳෙනු නොඅනුමානයි.
මුහුණු පොතේ සටහනක් ඇසුරෙන්