ඒ තමයි ජාත්‍යන්තර දුම්වැටි සහ මත් විරෝධී දිනය . මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වෙනුවෙන් අපූරු වගේම සමාගම්වල රෙදි ගැලවෙන තේමාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ තමයි, දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු - දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු යන්නයි.
ලංකාවේ අපිට පේන විදිහට සිගරට් බොන එක දැන් තරුණයන් අතර ටිකක් අඩුයි වගේ පෙනුනට, ඒක පිටුපස තියෙන්නේ මහා මොළකාර සමාගම්වල ලොකු රැවටීමක්. මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන විදිහට, සිගරට් කම්පැනි විසින් දැන් අලුත් පරම්පරාව (විශේෂයෙන්ම පාසල් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්) තමන්ගේ බිලි බාල්කයට දාගන්න වෙනස්ම මුහුණුවරකින් කූඨ උපක්‍රම දියත් කරලා තියෙනවා.
ඔවුන් ඊ-සිගරට් සහ වෝල්ටයිල් Vape වැනි නිෂ්පාදන හානි අවම විකල්ප සහ සාම්ප්‍රදායික දුම්පානයට වඩා ආරක්ෂිත ක්‍රම විදිහට ට්‍රෙන්ඩ් එකක් කරලා ප්‍රවර්ධනය කරන්නේ මේ නිසයි. මේවා නූතන විලාසිතාවන් විදිහට පෙන්වලා, තරුණයන්ව නොදැනුවත්වම නිකොටින්වලට ඇබ්බැහි කරවාගෙන, තමන්ගේ දිගුකාලීන ලාභය තහවුරු කරගන්න මේ මල්ටි-මිලියන සමාගම් උත්සාහ කරනවා.
ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි දුමට දියවෙන හැටි ඇහුවොත් ඔළුවත් එක්ක නරක් වෙනවා. ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි සඳහා පමණක් රුපියල් මිලියන 520ක් වැනි දැවැන්ත මුදලක් වැය කරනවා! කන්න බොන්න, දරුවන්ගේ අධ්‍යාපනයට ගන්න තියෙන සල්ලි මෙහෙම විනාශ කිරීම නිසා දැනටමත් ආර්ථිකයෙන් බැටකන අහිංසක පවුල් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටෙනවා.
ඒ විතරක්ද? දුම්පානය නිසා ලංකාවේ වසරකට වළක්වා ගත හැකි මරණ 20,000ක් විතර සිද්ධ වෙනවා. ලංකාවේ සිදුවන සමස්ත මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග වන අතර, එයට ප්‍රධානම අවදානම් සාධකයක් තමයි මේ දුම්කොළ භාවිතය.
රජයට සිගරට් බදු වලින් ලොකු ආදායමක් ලැබෙනවා කියලා සමහරු පම්පෝරි ගැහුවට, ඇත්තම කතාව ඒකෙ අනිත් පැත්තයි. උදාහරණයක් විදිහට, රජය උපයා ගත් සිගරට් බදු ආදායම රුපියල් බිලියන 92.9ක් වුණත්, මේ දුම්පානය නිසා ලෙඩ වෙන මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න සහ ආර්ථික පිරිවැය වෙනුවෙන් රජයට රුපියල් බිලියන 214ක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ලැබෙන ආදායම වගේ දෙගුණයකට වඩා රටට පාඩුයි!
අදට යෙදෙන මේ විශේෂ දිනයේදී ADIC ආයතනය ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන්, සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් වගේම සාමාන්‍ය මහජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ, මේ විනාශකාරී ඇබ්බැහියෙන් වර්තමාන සහ අනාගත පරම්පරාවන් ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකාව සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කරමු කියලයි.