මෙච්චර දවස් "අනේ මං මුකුත් දන්නෙ නෑ.. සුකේෂ් මාව රැවට්ටුවා.. මමත් වින්දිතයෙක්!" කිය කිය අහිංසකී වෙන්න හදපු අපේ ලංකාවේ සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට මෙන්න දැන් බඩුම තමයි කියලා ආරංචි වෙනවා!
ඇය මේ සියල්ල දැනුවත්ව සිදුකළ බවට ප්‍රබල සාක්ෂි උසාවියේදී හෙළි වී තිබෙනවා.දිල්ලි පැටියාලා හවුස් අධිකරණයේ අතිරේක මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත් ශර්මා විසින් ජැක්ලින් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නිල වශයෙන් චෝදනා ගොනු කිරීමට නියෝග කර තිබෙනවා.
නඩු විභාගයේදී හෙළි වී ඇත්තේ කුප්‍රකට වංචාකාර සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අතීත සාපරාධී පසුබිම සහ වංචාවන් ගැන ජැක්ලින් හොඳාකාරවම දැන සිටි බවයි. ඇගේ මිතුරියන් වන පින්කි ඉරානි සහ ලීපක්ෂි එල්ලාවඩි විසින් සුකේෂ්ගේ "කෙරුවාවන්" ගැන පත්තර වාර්තා පවා ජැක්ලින්ට පෙන්වා දී තිබියදී, ඇය ඒ සියල්ල නොදැක්කා සේ සිට ඇති බවයි උසාවියේදී හෙළි වුණේ.
"අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය වසන් කිරීම සඳහා ජැක්ලින් ෆර්නැන්ඩස්, විත්තිකාර සුකේෂ් චන්ද්‍රශේඛර් සමග සෘජුවම කුමන්ත්‍රණය කර තිබෙනවා."
සුකේෂ් යනු මහා පරිමාණ හොරෙක් බව දැන දැනම ජැක්ලින් ඔහුගෙන් රුපියල් කෝටි 5.71ක් වටිනා සුඛෝපභෝගී තෑගි බෝග වැලක්ම ලබාගෙන තිබෙනවා. වැඩේ එතනින් නතර වෙලා නෑ! ජැක්ලින්ගේ පවුලේ අයටත් සුකේෂ්ගෙන් සෙත සැලසිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි:
සහෝදරිය (ජෙරල්ඩින් ජේ. වෝකර්)- විදේශ බැංකු ගිණුමට අමෙරිකානු ඩොලර් 172,000කට අධික මුදලක්!
සහෝදරයා (වොරන් ජේ. ෆර්නැන්ඩස්)- ගිණුමට ඔස්ට්‍රේලියානු ඩොලර් 26,000ක්!
දෙමාපියන්ට- අපරාධවලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් සුඛෝපභෝගී මෝටර් රථ!
මුලින් මෝටර් රථ ගැන මං දන්නෙ නෑ කිව්වත්, පින්කිගේ ෆෝන් එකෙන් අහුවුණු සාක්ෂි උසාවියේදී මූණටම පෙන්වද්දී ජැක්ලින්ට ඒවා "ලැබුණු බව" පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ (PMLA) 3 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් ජැක්ලින් විසින් සිදු කර ඇති බවට ප්‍රබල සැකයක් මතුවන සාක්ෂි ඇති බව විනිසුරුවරයා අවධාරණය කරනවා.
ආදරයේ නාමයෙන් ලෝක හොරෙක්ගෙන් තෑගි බෝග, සල්ලි සහ කාර් ගත්ත ජැක්ලින්ගේ හිඟන්නාගේ පාත්තරයට හෙන ගැහුවා වගේ වැඩේ දැන් ලෝකය ඉදිරියේම හෙළිදරව් වෙලා ඉවරයි. බලමු ඉදිරියට බොලිවුඩ් සුපිරි නිළියට මොකද වෙන්නේ කියලා!