අනතුරක්, කරදරයක් වුණාම උදව් කරනවා වෙනුවට ෆෝන් එක අරන් වීඩියෝ කරන්න දුවන "කැමරා සංස්කෘතියක්" තමයි අද හැමතැනම තියෙන්නේ. හැබැයි, ඒ හැමදේම මැද්දේ මිනිස්කම කියන්නේ මොකක්ද කියලා පෙන්නපු සැබෑ වීරයෙක් ගැන නිකවැරටියෙන් අහන්න ලැබුණා. ඒ තමයි ඉශාර දසනායක කියන නිර්භීත තරුණයා.
පහුගිය දවසක නිකවැරටිය ප්‍රධාන පාරේ ලොරියකුයි, බයික් එකකුයි එකට එක හැප්පිලා දරුණු අනතුරක් වුණා. අනතුර වුණු සැනින් අවට හිටපු හැමෝම කුතුහලයට වගේ එතනට දුවගෙන ආවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙනවා වගේම, එතන හිටපු අය කළේ අනතුර දිහා බලබලා ළතැවෙන එක, නැත්නම් ෆෝන් එකෙන් වීඩියෝ කරලා Social Media දාන්න හදන එක. හැමෝගෙම අවධානය හැප්පුනු වාහන දෙසට විතරක් යොමුවෙලා තියෙද්දී, කාටවත්ම නොපෙනී එතන ලොකු විනාශයක් වෙන්නයි යමින් තිබුණේ.
අනතුරේ සැරටම පාර මැදට විසිවෙලා, අසරණව වැටිලා හිටියේ පුංචි දරු පැටියෙක්. ප්‍රධාන පාරේ වේගයෙන් එන වෙනත් වාහනයකට අහුවෙලා ඒ දරුවගේ ජීවිතේ ඕනෑම මොහොතක නැතිවෙන්න ඉඩ තිබුණා. එතන රැස්වෙලා හිටපු කාටවත්ම මේ දේ පෙනුණේ නැති වුණත්, ඉශාර දසනායකගේ ඇහැට මේ පුංචි දරුවාව එකපාරටම අහුවුණා.
ඊටපස්සේ ඉශාර තත්පරයක්වත් අපතේ හැරියේ නැහැ. තමන්ගේ ජීවිතේ ගැනවත්, පාරේ එන වාහන ගැනවත් හිතන්නේ නැතුව එයා එකපාරටම පාර මැදට පැනලා ඒ අසරණ දරුවාව අත්දෙකට ගත්තා. එතනින් නතර නොවී, දරුවාවත් වඩාගෙන ආරක්ෂිත තැනකට දුවගෙන යන්න තරම් ඉශාර කාරුණික වුණා.