මේ වලියේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන සහ හිටපු ඇමති, මහාචාර්ය ජී. එල්. පීරිස්.
ලෝකෙටම තියෙන සුපිරි සන්නාමයක වාහනයක් නිසා හටගත්තු මේ ගැටුම ඉතාලි තානාපති කාර්යාලයේ පාටිය මැද්දේ දෙදරා ගියේ මෙන්න මෙහෙමයි!
කතාව පටන් ගන්නේ මීට දින කිහිපයකට කලින් මහාචාර්ය ජී. එල්. පීරිස් පවත්වපු මාධ්‍ය හමුවකින්. එතනදී ජී. එල්. කියලා තිබුණා, ලෝකෙටම 25ක් විතරක් තියෙන, ලෝකයේ මිල අධිකම වාහනයක් පසුගිය කාලයේ ලංකාවට ගෙනත් තියෙනවා. ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට මෙන්න මේ වගේ දේවලුත් හේතුවක් කියලා.
ජී. එල්. නම නොකියා මෙන්න මේ ගැහුවේ ඩඩ්ලි සිරිසේන මෑතකදී ලංකාවට ගෙනාපු සුපිරි රොල්ස් රොයිස් කාර් එකට කියලා හැමෝම දැනගෙන හිටියා. ඔය කතාව නිසා ඩඩ්ලි හිටියේ හොඳටම මල පැනලා, වෙලාවක් එනකම් බලාගෙනයි.
ඉතාලියානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සංවිධානය කරපු උත්සවය පසුගිය දිනක (02) රාත්‍රියේ පැවැත්වුණා. ඕකට ලංකාවේ ප්‍රභූවරු වගේම දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ රැසක් ඇවිත් හිටියා. ඔන්න ඔය අතරේ ඩඩ්ලි සිරිසේනයි, ජී. එල්. පීරිසුයි මූණට මූණ හම්බවුණා.
ජී. එල්.ව දැක්ක ගමන් කේන්තිය පාලනය කරගන්න බැරි වුණු ඩඩ්ලි සිරිසේන කෙළින්ම ජී. එල්. ළඟට ගිහින් හැමෝම බලාගෙන ඉද්දීම දෝස්මුරේ පටන් අරන් තියෙනවා.
“ආ මහාචාර්යතුමා, ඔබතුමාලාට විතරද රොල්ස් රොයිස් පදින්න හොඳ? ඇයි දුප්පත් අපිට රොල්ස් රොයිස් පදින්න හොඳ නැද්ද?” කියලා ඩඩ්ලි එකපාරටම අහද්දී ජී. එල්. හොල්මන් වෙලා තියෙනවා.
සාමකාමී මනුස්සයා වගේ ඉන්න ජී. එල්. එකපාරටම වෙච්ච දේ හිතාගන්න බැරුව, “ඇයි? මොකද මේ?” කියලා විතරයි අහන්න හම්බවෙලා තියෙන්නේ.
එතනින් පස්සේ ඩඩ්ලි සිරිසේන තමන්ගේ කේන්තිය පිට කරමින් දිගට හරහට ජී. එල්.ට අමතන්න පටන් අරන් තියෙනවා.
"මොකද තමයි… ඔබතුමා මොකක්ද අර කියලා තියෙන කතාව? අපි මේවා මේ එක එකා එක්ක ඩීල් දාලා, කොමිස් ගහලා ගත්තුවාවත් පර්මිට්වලට ගෙන්නපුවාවත් නෙවෙයිනෙ. බිස්නස් කරලා, හම්බුකරලා, බදුත් ගෙවලා ගෙන්නපුවා. මහාචාර්යතුමාලාට විතරද රොල්ස් රොයිස් ගේන්න පුළුවන්? දුප්පත් අපිට ගේන්න බැරිද? ඔබතුමාලා පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙත් රොල්ස් රොයිස්වල. ඒ කාලෙ කෑම ගේන්න ගියෙත් රොල්ස් රොයිස්වල. දුප්පත් පවුල්වල අපි හම්බකරලා එකක් ගෙනාවාම තමයි අමාරුව. පුදුම ඉරිසියාවක්නෙ මේක…."
ඩඩ්ලි කේන්තියෙන් කියාගෙන කියාගෙන යද්දී සාදයට ආපු අනිත් අමුත්තන් පවා මේ දෙස බලා සිටියේ පුදුමයෙන්.
කොහොම හරි මේ රොල්ස් රොයිස් වලිය දුරදිග යන ලකුණු පහළ වෙද්දී, එතන ළඟපාත හිටපු අනිත් ප්‍රභූවරු කඩිනමින් මැදිහත් වෙලා තියෙනවා. එයාලා ඩඩ්ලිවයි, ජී. එල්වයි දෙපැත්තකට එක්කගෙන ගිහින් කචල් එක තාවකාලිකව බේරුම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය.
කොහොම හරි එදා රෑ ඉතාලි තානාපති කාර්යාලයට ආපු අමුත්තන්ට නම් කෑම බීමවලට අමතරව පට්ටම දේශපාලන ගොසිප් එකකුත් නොමිලේම බලාගන්න හම්බවෙලා තියෙනවා. එකෙක්වත් ඩීල් දාන්නේ නැතුව, තමන්ගේ සල්ලිවලින් ගත්තා කියන ඩඩ්ලිගේ රොල්ස් රොයිස් එකට, මහාචාර්ය ජී. එල්. පීරිස් ඉස්සරහට මොන වගේ රිප්ලයි එකක් දෙයිද?