මැදිවියේ පුද්ගලයෙක් තමන්ගේ ත්‍රීවීල් රථයෙන් ගමනක් යමින් සිටියදී එකවරම වාහනයේ කේබල් එකක් කැඩී යන්නේ බලාපොරොත්තු නොවූ මොහොතකයි. වඩාත්ම කණගාටුදායක කාරණය නම්, ඒ වෙලාවේ ඔහුගේ අතේ කිසිදු මුදලක් නොතිබීමයි. කරන්න කිසිම දෙයක් නොමැති තැන, ඔහු දැඩි අව් රශ්මිය මැද තනිවම තමන්ගේ ත්‍රීවීල් රථය මහමඟ තල්ලු කරගෙන යාමට පටන් ගෙන තිබෙනවා.
ඔහු ටික දුරක් වාහනය තල්ලු කරගෙන යද්දී, පාරෙන් එහා පැත්තේ හිටපු තරුණ පිරිමි ළමයෙක් කිසිදු පැකිලීමකින් තොරව දුවගෙන ඇවිත්, “මහත්තයා මොකද වෙලා තියෙන්නේ?” කියලා ඉතාමත් කාරුණිකව අසා තිබෙනවා.
බලනකොට මේ තරුණයා ළඟම කුඩා ගරාජ් එකක් කරන, ඇඟ පුරාම මජන් ගෑවුණු තරුණ කාර්මිකයෙක්. සිදුවීම අසා දැනගත් වහාම, “ඔය මහත්තයා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න. මං මේක බලන්නම්...” කියමින් ඔහු ඉතාමත් ලෙන්ගතුව ත්‍රීවීල් රථය තමන් භාරයට ගෙන තිබෙනවා..."
වාහනය අලුත්වැඩියා කරන අතරතුර, තමන් සන්තකයේ මුදල් නොමැති බව පවසන්නට මේ පුද්ගලයා කිහිප වරක්ම උත්සාහ කර තිබෙනවා. “පුතා... සල්ලි ටිකක් අතේ අවුල්...” කියලා ඔහු බයෙන් බයෙන් කියද්දී, ඒ වදන් මේ තරුණයාට ගානක්වත් වෙලා නැහැ. ඔහු තමන්ගේ රාජකාරිය ඉතාමත් කැපවීමෙන් අවසන් කර තිබෙනවා.
වාහනය හදලා ඉවර වෙලා මේ තරුණයා ගරාජ් එක ඇතුළට ගියේ කුලිය ගණන් හදන්න කියායි මේ පුද්ගලයා සිතුවේ. තමන් අතේ සල්ලි නැති නිසා ඊළඟට කුමක් වේවිදැයි ඔහු ගැහෙමින් සිටි මොහොතක, කාර්මික තරුණයා නැවත පැමිණියේ රුපියල් 500ක නෝට්ටුවක්ද අතැතිවයි.
“මේක තියාගන්න මහත්තයා. යන ගමන් තේකක් බීලා, පුළුවන් නම් තෙල් ටිකකුත් ගහගන්න...”
කියා ඒ තරුණයා රුපියල් 500 නෝට්ටුව අසරණ වූ ඒ මනුස්සයාගේ අතින් තබා තිබෙනවා. තමන් කළ සේවයට මුදල් නොගන්නවා පමණක් නොව, අසරණ වූ මිනිසෙකුගේ බඩගින්න සහ අවශ්‍යතාවය හඳුනාගෙන තමන් සතු මුදලින්ද උපකාර කරන්නට තරම් මේ තරුණයා නිහතමානී වී තිබෙනවා.
සමාජ මාධ්‍ය ඇසුරෙන්