මේ වගේ තරු පන්තියේ හෝටලයක ඇත්තටම ඒ කතාව නම් කෙනෙක් කිව්වට විශ්වාස කරන එකකුත් නැති වේවි..
එකතරා ප්‍රදේශයක තරු හෝටලයක පැවැති සුපිරි මංගල්‍යයක අසිරි සැප විඳීමට ගිය පුද්ගලයන් දෙදෙනකුට වසුරු සැප ලැබී ඇති කතාවක් ගැන පුවතක් බස්නාහිර පළාතෙන් පසුගිය දා අසන්නට ලැබුණා.
එය කන්තෝරුවේ කලකට පෙර විශ්‍රාම ගිය නිලධාරියකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයක්. ඒ සඳහා ආයතනයේ තවමත් සේවයේ යෙදෙන දෙදෙනකුට පමණක් ආරාධනා ලැබී තිබුණා.
උත්සවය පැවැත්වෙන්නේ තරු හෝටලයකයි. තමන් දෙදෙනාට පමණක් ලැබී තිබුණු මේ ආරාධනය පිළිබඳව මාසයක පමණ කාලයක් තිබූ බැවින් දෙදෙනා කැන්ටිමේ අහුමුළුවල ඒ පිළිබඳව සතර කන්මන්ත්‍රණ පවත්වා ගමන යාමට තීරණය කළා.
මේක සුපිරි මඟුලක් නිසා නිසි පරිදි යා යුතු බැවින් ඇඳුම් කුලියට දෙන ස්ථානයකින් දෙදෙනා ෆුල් ෂූට් දෙකක් රුපියල් 6,000ක් දී කුලියට ගත්තා. දුම්රිය ද මේ දිනවල ධාවනය නොවන බැවින් ෆුල් ෂූට් පිටින් බස් එකේ යන්නට නොහැකි නිසා කලින් දින ගොස් තරුණ බෞද්ධ සමිති ශාලාවේ කාමරයක් වෙන් කරගත්තා.
එදින පොඩි අඩියක් ගසමු දැයි එකෙක් විමසුව ද, හෙට සුපිරියටම බොන්න ලැබෙන නිසා අද අමුවෙන්ම ඉඳිමු යැයි අනිකාගේ යෝජනාව අනුව දෙදෙනා සයිවර් කඩයකින් රෑ ආහාර ගෙන පසු දා ගමනට සැප නින්දක් දැම්මා.
පසු දා පෝරුවේ චාරිත්‍ර අවසන් වනවාත් සමගම දෙදෙනා තරු හෝටලයට ඇතුළු වුණා. ඇතුළේ සහ එළියේ ද අටවා තිබූ කූඩාරම්වල ද ආරාධනා ලැබූ සම්භාවනීය ආරාධිතයන්ගෙන් පිරී තිබුණා.
වේටර්වරු යුහුසුළුව රට කජු, බැදපු මස් දීසි මේසවලට බෙදමින් ආවා. දහවල් දොළහ පමණ වන විට විශ්‍රාමික මිතුරාගේ බිරිඳ රිදී පැහැති ට්‍රේ එකක වතුර වීදුරුවක් තබාගෙන පිරිසට කෑමට ආරාධනා කරමින් ආවා.
මේක ‘අමද්‍යප මඟුලක්’ බව තේරුම් ගත් මිතුරන් දෙදෙනා ‘අමුවෙන් කොහොමද බත් කන්නේ’ යැයි කියමින් එළියට බැස්සා. ත්‍රිරෝද රථයක් නවත්වාගෙන එයට ගොඩ වී වයින් ස්ටෝර්ස් එකක් සොයා ගිය ද හමු වූවේ නැත. වාහන තදබදය අතර ත්‍රිරෝද රථය සිරවීම නිසා ඉන් බැසගත් දෙදෙනා නැවත පයින්ම හෝටලය කරා පැමිණියා.
“මං හැම තැනම හෙව්වා. අන්න ගිහින් බත් කන්න” යැයි මිතුරාගේ ආරාධනාවට දෙදෙනා ‘බුෆේ’ එකට ළං වුණා. දිට්වා සුළි කුණාටුවට හසු වූවා වැනි වූ කෑම මේසයේ එවෙලෙහි තිබුණේ පරිප්පු හා මස් කටු හොද්දක් පමණි.
බඩගින්නට ඉන් බත් කටවල් දෙක තුනක් ගිල දැමූ දෙදෙනා සූදානම් කරගෙන පැමිණි කවරයෙන් මුදල් නෝට්ටු කිහිපයක් ද නැවත සාක්කුවට දාගෙන කවරය බාර දී හෝටලයෙන් පිට වී පාරට බැස්සා.
සිද්ධිය අපි දෙන්නා රහසක් වශයෙන් තියාගමු යැයි දෙදෙනා එකඟතාවකට පැමිණියත්, රජයේ කාර්යාලයක මේවා රහස් නොවන බව පසක් කරමින් මේ කතාව දැන් මුහුණුපොතේ ද සැරිසරන රහසක් බවට පත් වෙලා..